28 සිට 72 දක්වා …..

Spread the love





හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ 72 වෙනි උපන්දිනය අදට (24) යෙදී තිබේ. මේ සටහන ඒ වෙනුවෙනි. 

1977 මහමැතිවරණයෙන් බියගම ආසනය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වූයේ 28 හැවිරිදි තරුණයකු වශයෙනි. එතැන් සිට වසර 44ක දීර්ඝ දේශපාලන ගමන තුළ අද වනවිට ඔහු පළමු වරට මහමැතිවරණයකින් පරාජයට පත්ව සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහිමි කරගෙන සිටී.

2020 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම පාර්ලිමේන්තු නියෝජනය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාව පත්කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළැයි මාස කිහිපයක් තිස්සේම කියැවුණ ද මේ වනතෙක් එය හෝ ක්‍රියාත්මක වී නැත. ඇත්තෙන්ම එජාපය අද සිටින්නේ තමන්ට ලැබුණු එකම පාර්ලිමේන්තු අසුනටත් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට නොහැකිව මාස 8ක් තිස්සේ දඟළන තත්වයකය. මේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීරණාත්මක භාවයේ ස්වභාවයයි. 

ඒ ඒ මොහොතේ තීන්දුවක් නොගෙන, ප්‍රශ්නය කාලයට බාර කරන අතීරණාත්මක ස්වභාවය ඇතැම් අවස්ථාවලදී ඇතැම් පුද්ගලයින්ට, ඇතැම් ආයතනවලට වාසිදායක ලෙස සේවය කරයි. රනිල් වික්‍රමසිංහ මහතාටත් යම් කාලයකදී එය එසේ විය. නමුත් අද වනවිට ඔහුගේ අතීරණාත්මක ගතිය පක්ෂයට දැඩි ලෙස හානි කරමින් පවතී. 

කොතෙක් අඩුපාඩුකම් මධ්‍යයේ වුවත් රනිල් ගැන කිවහැකි එකක් තිබේ. ඒ, ඔහු කිසිදිනෙක හොරෙකු නොවූ බවයි. ඇතැම් අවස්ථාවලදී ඔහු හොරුන්ට ඉඩදෙමින් නිහඬව සිටියා වන්නට පුළුවන. නමුත් ඇතැම් දේශපාලනඥයින් මෙන් ඔහු අතේ පයේ ගාගනිමින් තමන් වෙනුවෙන් පුද්ගලිකව සොරකම් කිරීමට ගියේ නැත. එය ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ විරල ගුණයකි. 

රනිල් වික්‍රමසිංහ යනු මල්වට්ටි බදාගෙන පන්සල් නොගියත් බුදු දහම මැනවින් හැදෑරූ, එයින් ජීවිතයට යම් පන්නරයක් එක් කරගත් පුද්ගලයෙකි. නමුත් එය සම්පූර්ණ වශයෙන් ජීවිතයට ගලපා ගැනීමට ඔහුට හැකිවූයේ නැත. 

එදා මෙදාතුර රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනයෙහි විශිෂ්ඨම පියවර වූයේ LTTE සංවිධානය සමග එළඹුණු සාම ගිවිසුමයි. LTTE සංවිධානයේ කඩාවැටීම ස්ථිරවම සනිටුහන් වුණේ එම සටන් විරාමය සහ සාම සාකච්ඡා තුළය. පසුකලෙක LTTEය පරාජය කරවීමේ ගෞරවය කවුරුන් හිමිකර ගත්තත් LTTEය අභ්‍යන්තරිකව කඩාවැටෙන්නට සැලැස්වූයේ රනිල් විසිනි. එනම් LTTEයේ පරාජයෙහි පදනම සකස් කළේ රනිල් විසිනි. ඒ සාම සාකච්ඡා පැවැත්වුණු ස්ථාන ගැන සලකා බලන විටම රනිල් වික්‍රමසිංහ මහතාගේ සූක්ෂම සැලසුම මනාව පැහැදිලි වෙයි. අනෙක් පැත්තෙන් සුවිශේෂී ආර්ථික වර්ධනයක් ද සමගින් ගතවූ 2001 – 2004 සමය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියෙහි ස්වර්ණමය යුගය වශයෙන් සැලකිය හැකිය. 

එහි ප්‍රතිවිරුද්ධ තත්වය ලෙස රනිල්ගේ දේශපාලනයෙහි අඳුරුතම යුගය ලෙස සටහන් වන්නේ 2015 – 2019 සමයයි. ඒ පාලන සමය තුළ රනිල් වික්‍රමසිංහ නම් දැවැන්ත දේශපාලන චරිතය විහිළුවක් බවට පත්වූ අතර 2020 වනවිට ඔහු තම 71 වැනි වියේදීම ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ නායකයකු බවට පත්විය. 2015 වසරේදී සුවිශේෂී මනාප ලක්ෂ 5ක් ඉක්මවමින් වාර්තාවක් පිහිටවූ නායකයා 2020 දී කොළඹ දිස්ත්‍රික්කයෙන් අන්ත පරාජයක් හිමිකරගත්තේ මනාප විසි දහසක් පමණක් ලබාගනිමිනි. 

රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයට පත්වූයේ වයස 72 දීය. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අවස්ථාව පිහිටා නොමැති බව පැහැදිලිය. අද වනවිට පෙනී යන්නේ තමන් කරන්නේ කුමක්දැයි කියා රනිල් වික්‍රමසිංහ මහතාවත් නොදන්නා බවකි. වැල යන අතට මැස්ස ගැසීමට හෝ ඔහුට දැන් තේරෙන්නේ නැත. අප මීට පෙරත් පෙන්වා දී ඇති පරිදි තමන් සමගම එක්සත් ජාතික පක්ෂයත් වළපල්ලට ඇදගෙන යන්නේද නැද්ද යන්න ඔහු තීරණය කළයුතුව ඇත. දැනට ඔහු කරමින් සිටින්නේ අනාගතයක් ඇති බවට ලකුණු පෙන්වූ අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක වැනි නායකයින්ට ද බරපතළ අසාධාරණයකි. 

පුද්ගලිකව ගතහොත් සිය 72 වැනි වියේදී රනිල් වික්‍රමසිංහ මහතාට වඩාත්ම සුදුසු වන්නේ පක්ෂ දේශපාලනයේ මේ සියලු පළහිලව් අතහැර විශ්‍රාම ගැනීමය. එජාපය ගොඩගත හැකි නායකයකු සිටී නම් ඒ තැනැත්තා මේ දුෂ්කර තත්වයන් තුළින්ම ඉහළට මතුවනු ඇත. එසේ නොවුණත් රනිල් වික්‍රමසිංහ මහතාට ඒ ගැන දැන් කරන්නට දෙයක් නැත. නමුත් තමන් සතු සුවිශාල දැනුමෙන් සහ සුවිශේෂී අත්දැකීම් සමුදායෙන් රටට මෙන්ම ජාත්‍යන්තර දේශපාලනයටත් ලබාදිය හැකි දායකත්වය සැපයීමේ වෙනත් සුදුසු ක්‍රමවේදයක් ඒ මහතාට පහසුවෙන්ම තෝරාගැනීමට හැකිය. එය ඔහුගේ පරාජයක් වශයෙන් සැලකිය යුත්තක් නොවේ. දැනට ලබා ඇති මේ සියලු පරාජයන් මැද ඒ පියවර තබන්නේ නම්, එය ඔහු තම දේශපාලන ජීවිතය තුළ මෙන්ම පුද්ගලික ජීවිතය තුළත් ලබන සුවිශේෂීම ජයග්‍රහණය වනු ඇත. බලය අත්හැරීම යනු පහසු දෙයක් නොවේ, නමුත් ඒ පසුපස ඇති නිවීම, සැනසීම අන් කිසිවකට සම කළ හැක්කක් ද නොවේ …. 

 

 


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: