20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව

Spread the love





20 වැනි සංශෝධනය ගෙනාවේ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියැවුණි. ඊට කලින් තිබුණු 19 වැනි සංශෝධනය තුළ රාජ්‍ය පාලනය අකාර්යක්ෂම විණැයි කියැවුණි.  

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් තිබේ. ඒවා නම්, 17 වැනි, 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයන් ය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය කරන්නේ, සමාජයක තත්කාලීන තත්වයන් වෙනස් වීම සැලකිල්ලට ගනිමින්, තිබෙන ව්‍යවස්ථාව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් මතුවීම හේතු කොටගෙන ය.  
එහෙත්, ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක, යම් තරමක තිරසාර ගතියක් තිබේ. එනම් ලෙහෙසියෙන් වෙනස් කළ නොහැකි ගතියකි. රාජ්‍ය පාලනයේ මූලධර්ම, ආණ්ඩුකරණ ක්‍රියාවලියේ ස්වභාවය, ආණ්ඩුකරණයේ ව්‍යුහය සහ රටවැසියන්ගේ මූලික අයිතීන් ආදී ඊට අඩංගු කාරණා මාසයෙන් මාසයට හෝ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කළ හැකි හෝ වෙනස් කළ යුතු හෝ දේවල් නොවේ. 1787 දී පනවා ගත් ඇමරිකානු ව්‍යවස්ථාව, ගත වූ වසර 250 කට ආසන්න දීර්ඝ කාලයක් තිස්සේ සංශෝධනයට ලක්ව ඇත්තේ අවස්ථා 27 කදී පමණි. ලංකාවේ 1978 දී ඇති කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත වූ වසර 50 කට අඩු කාලයක් තුළ 20 වාරයක් සංශෝධනය කොට තිබේ.

අපේ අවසාන ව්‍යවස්ථා සංශෝධන හතර, එනම්, 17, 18, 19 සහ 20 වැනි සංශෝධන හතර ඇති කරගෙන තිබෙන්නේ, ගත වූ අවුරුදු 20 ක කාලයක් තුළයි. මේ කාලය ඇත්තෙන්ම විශේෂිතයි. මන්ද යත්, ප්‍රජාතන්ත්‍රවාදය දිසාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයෙන් විරුද්ධ දිසාවට අදින පරස්පර මතවාදී ප්‍රවණතාවන් දෙක වැඩියත්ම කැපී පෙනෙන්නේ ඒ කාලයේදී වන බැවිනි. තවත් විදිහකින් කිවහොත්, 1978 දී අද පවතින විධායක ජනාධිපති ක්‍රමය ජේ. ආර්. ජයවර්ධන විසින් ලංකාවට හඳුන්වා දීමේ පටන්, එය ආපස්සට හැරවීමටත්, එය වඩාත් ශක්තිමත් කිරීමටත් කඳවුරු ගැසුණු ප්‍රතිවිරුද්ධ බලවේග දෙක, මේ කියන සංශෝධන පසුපසින් හඳුනාගත හැකි බවයි. 

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය හැරුණු විට අනෙක් සියලු ප්‍රධාන පක්ෂ ඊට විරෝධය දැක්වීය. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ විරෝධතාවයේ ප්‍රමුඛත්වය ගත්තේය. අද වන විට, එහි ප්‍රධාන ආරක්ෂකයා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පොහොට්ටුව) පත්ව සිටින අතර, විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාපක එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධව පෙනී සිටී. 

17, 18 සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන

විධායක ජනාධිපති ක්‍රමයේ ඇති දැඩි අධිකාරී ගතිය තරමක් මෙල්ල කිරීම සඳහා 2001 දී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කර ගැනුණි. ඒ මගින්, ඒ දක්වා විධායක ජනාධිපති අතේ පැවති යම් බලතල ප්‍රමාණයක් අඩු කොට, රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් ගලවාගෙන ස්වාධීන තත්වයට පත්කිරීමේ වෑයමක් ගැනුණි. ඒ අනුව, ‘ව්‍යවස්ථා සභාවක්’ හඳුන්වා දෙනු ලැබූ අතර, රාජ්‍ය සේවය ස්වාධීන කිරීම අරමුණු කරගත් ‘ස්වාධීන කොමිෂන් සභා’ හතක් සඳහා සාමාජිකයන් නිර්දේශ කිරීම ඊට පැවරුණි. මේ වනාහී, විධායක ජනාධිපති එතෙක් තනි මතයට කරගෙන ගිය කාර්යාවලියක්, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සිදු කිරීම සඳහා ගත් සාධනීය ප්‍රයත්නයකි. තවත් විදිහකින් කිවහොත්, විධායක ජනාධිපතිගේ බලය යම් තාක් අඩු කිරීමකි. 

එහෙත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ආයුෂ අවුරුදු 10 ක්වත් නොතිබුණි. 2009 දී යුද්ධය ජයගත් සැණින්, යළි බලයට පත්වූ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ බලයත් අත්පත් කරගනිමින් මුලින්ම කෙළේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමයි. 18 වැනි සංශෝධනයෙන් කෙරුණේ, ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ධුරයේ පැවති බලතල ඊටත් වඩා විධිමත්ව සහ ශක්තිමත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතට ගැනීමයි. තවත් විදිහකින් කිවහොත්, පාර්ලිමේන්තුවේ බලතල හීලෑ කොට කප්පාදු කිරීමයි. 

එහෙත් එම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ආයුෂත් පැවතියේ අවුරුදු 5 ක් පමණි. 2015 දී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වී යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග 18 වැනි සංශෝධනය අවලංගු කොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනුණි. එයින් සිදු කෙරුණේ, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි නැඹුරුවක් දැක්වූ අතීතයේ 17 වැනි සංශෝධනයෙන් ගියාටත් වඩා ඉදිරියට යාමයි. එනම්, විධායක ජනාධිපතිවරයාගේ බලතල, 17 වැනි ව්‍යවස්ථාවෙන් සිදු කළාටත් වඩා කප්පාදු කොට පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආයතනකි පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමයි. එහිදී ‘ව්‍යවස්ථා සභාව’ සහ ස්වාධීන කොමිෂන් සභා, පෙරටත් වඩා තහවුරු කෙරුණි. 

එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ආයුෂත් අවුරුදු 5 ක් පැවතියේ නැත. 2019 බලයට පත් ගෝඨාභය රාජපක්ෂ එකී 19 වැනි සංශෝධනය අහෝසි කොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේය. එය, ඊට කලින් ඔවුන් ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා විධායක ජනාධිපති තනතුර තරබාරු කරන සහ පාර්ලිමේන්තුව කේඩෑරි කරන පියවරක් විය.

ප්‍රජාතන්ත්‍රවාදයද, අධිකාරීවාදයද?

දැන් අප සලකා බැලිය යුතු මූලික කාරණය මෙයයි. 2005 මුලින් බලයට පත්වීමේ පටන් රාජපක්ෂවරුන් නිරන්තරයෙන් තැත් කෙළේ ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගනිමින් සහ තරබාරු කරගනිමින් පාර්ලිමේන්තුවේ බලය හැකිතාක් බාල්දු කිරීමට බව, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලන කාලයන් විසින් මනාව පෙන්නුම් කෙරේ. ඔවුන් විසින් ගෙනෙන ලද 18 සහ 20 ඊට උදාහරණයි. එසේම, ඔවුන්ට විරුද්ධව සිටි සියලු බලවේග මේ කාලය තුළ උත්සාහ කොට ඇත්තේ, පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කොට, රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් බලවත් කොට, ජනාධිපතිවරයාගේ බලතල හැකිතාක් මැඩලීමයි. 17 සහ 19 වැනි සංශෝධන ඊට උදාහරණයි. 

18 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනවලින් තනි පුද්ගලයෙකු (ජනාධිපති) අතේ බලය ඒකරාශී වන නිසා, කාර්යක්ෂමතාව ඇති වෙතැයි උපකල්පනය කෙරුණි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කොට තිබූ ‘ව්‍යවස්ථා සභාව’ සහ ස්වාධීන කොමිෂන් සභා වැනි ක්‍රියාවලීන් නිසා එම කාර්යක්ෂමතාව ඇහිරෙන බව, 18 ගෙනෙද්දී ඔවුහූ කියා සිටියහ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එවැනිම අකාර්යක්ෂම ක්‍රමයක් බව කී ගෝඨාභය රාජපක්ෂ, 20 වැනි සංශෝධනය හරහා සියලු බලය තමන් අතට ගැනීමෙන් රාජ්‍ය පාලනය කාර්යක්ෂමව කරගෙන යා හැකි වෙතැයි කීවේය.

ජනාධිපති ක්‍රමයේ කාර්යක්ෂමතාවෙන් බිඳක්

රාජපක්ෂ සහෝදරවරු කියන මේ කාර්යක්ෂමතාව ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය තුළ යහමින් දක්නට තිබුණු බව ඇත්ත. ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඒ බව ඕනෑවටත් වඩා පෙන්නුම් කොට තිබුණි. එය කොතෙක් දුරදිග ගියේද යත්, තමාගේම ඇමතිවරුන්ගෙන් ලබාගත්, දිනයක් නොයෙදූ ඉල්ලා අස්වීමේ ලියුම් පවා ඔහු තමාගේ ලාච්චුවේ තබාගෙන සිටියේය. එයින් ඔහු අපේක්ෂා කෙළේ තමාගේ මතයට පිටින් කිසිවෙකුට කටයුතු කිරීමේ කිසි ඉඩක් ඉතිරි නොකිරීමයි. තනි මතයක අධිකාරය, කාර්යක්ෂමතාවයේ රහස වශයෙන් සැලකුණි. පොලීසිය පාතාලයන් (සොත්ති උපාලි) ලවා පාලනය කිරීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට විරුද්ධව මදාවියන් ලවා (කළු ලකී) විනිසුරුවරුන්ගේ ගෙවල්වලට ගල් ගැසීමටත් විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වගබලාගත්තේය. දීර්ඝ ඉතිහාසයක් කෙටියෙන් කිවහොත්, මේ කියන විධායකයේ කාර්යක්ෂතාව යනු, අයුක්තිය සහ අසාධාරණය වෙනුවෙන් කාර්යක්ෂම වීම මිස යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් සිදු වුණු කාර්යක්ෂමතාවක් නොවන බව, අපේම ඉතිහාසය අපට කියා දෙයි.        

 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ කෙටි පාලන කාලය තුළ සොරුන්, දූෂිතයන් සහ අපරාධකරුවන් මොන තරම් කාර්යක්ෂම ආකාරයෙන් නිfදාස් කොට නිදහස් කෙළේද යන්න අපි දුටුවෙමු. මේ සොරුන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකරට ඇප නොදී තවමත් හිරබාරයේ තබාගෙන සිටින කාර්යක්ෂමතාවත් අපට පෙනේ. මේ පිළිබඳ පුංචි පාඩමක් සිහිපත් කරගැනීම වටී. 

පුංචි පාඩමක්

ඒ මෙසේ ය: ශානී අබේසේකර යටතේ සේවය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු වූ නිශාන්ත ද සිල්වා, යහපාලන ආණ්ඩුව පැවති කාලයේ, දේශපාලනික බලවතුන්ගේ උවමනාවට හිටිහැටියේ මීගමුවට මාරු කෙරුණි. සතියක් ගියේ නැත. ස්වාධීන පොලිස් කොමිසම ඉදිරිපත් වී ඒ මාරුව අවලංගු කෙළේය. එදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන පොලිස් කොමිසම, විධායකයේ මතයට අවනත නොවී රාජ්‍ය නිලධාරියෙකුගේ ස්වාධීනත්වය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේ ඒ ආකාරයෙනි. මේ පොලිස් නිලධාරියා, ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ සැණින් රටෙන් පලා ගියේය. ඒ ඇයි? ඒ පැනයට උත්තරය මේ මොහොතේ අපට සපයමින් සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකරයි. තමන් බලයට පැමිණි පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ගෝඨාභය රාජපක්ෂ දිව්රා කියා තිබූ නිසා, පොලිස් නිලධාරියෙකු වශයෙන් 19 වැනි සංශෝධනය තුළ තමන්ට අත්ව තිබූ ස්වාධීනත්වය නැති වෙනවා පමණක් නොව, රාජපක්ෂලාගේ නඩු පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් දඬුවමට ලක්වීමටත් සිදුවන බව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සාමාන්‍ය බුද්ධියෙන් දැන සිටින්නට ඇත. අනිත් අතට, ශානී අබේසේකර එසේ රට හැර පලා නොගොස් මෙරටේම රැඳෙමින් සිතන්නට ඇත්තේ, තමා වරදක් කර නැත්නම් රටින් පලායන්නේ මන්ද යනුවෙන් විය හැකිය. වරද සහ දඬුවමත්, නිර්දෝෂී භාවය සහ නිදහසත් අතර පවතින දියුණු ශිෂ්ටසම්පන්න සම්බන්ධතාව, රාජපක්ෂලාගේ ‘කාර්යක්ෂමතාව’ තුළ පැවතිය නොහැකි දෙයක් බව, නිශාන්ත සිල්වා කල්තියා දැනගෙන සිටි අතර, ශානී අබේසේකර එම පාඩම අද ඉගෙනගනිමින් සිටින්නේ විශාල වියදමක් දරමිනි. 

තවත් පැත්තකින් මේ කාර්යක්ෂමතාව දෙස බලමු: පසුගිය දා වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා හිටිගමන් එම ප්‍රදේශයෙන් මාරු කෙරුණි. හේතුව, දේශපාලඥයන්ට යටත් නොවී ඔහු එම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම මැඩලීමට පියවර ගෙන තිබීම ය. මීට ඉහතින් සඳහන් කළ නිශාන්ත ද සිල්වා වෙනුවෙන් ඉදිරිපත් වූ පොලිස් කොමිසමක් මේ පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටීමට අද නැත. එම ප්‍රදේශයේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත ඔහුව මාරු කරන ලදැයි පොලීසිය භාර අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේය. එයින් එක් දේශපාලනඥයෙකු පසුව කියා තිබුණු පරිදි, සුළු මට්ටමේ කසිප්පු ජාවාරමට ඉඩක් තිබිය යුතුලු. දැන් මේ සමස්ත කතාවේ  තේරුම කුමක්ද? පොලිස් සේවය වෙනුවට, දූෂිත දේශපාලනනඥයන් සහ කසිප්පුකාරයන් අද වන විට කාර්යක්ෂම වී ඇති බවයි.

කාර්යක්ෂමතාවයේ වියදම

රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබුණු රුපියල් බිලියන 16 ක බදු ආදායමක් සීනිවලින් වංචා කරමින් ජාවාරම්කරුවන් දෙතුන් දෙනෙකු අතට පත්කිරීම මොන තරම් කාර්යක්ෂම මෙහෙයුමක්ද! යහපාලන ආණ්ඩුව කාලයේ බැංකු කොල්ලයෙන් ගසාකෑ මුදල වශයෙන් සැලකෙන්නේ රුපියල් බිලියන 1.6 කි. ඒ මුදල තවමත් තිබෙන්නේ හොරාගේ අතේ නොව, මහබැංකුව භාරයේ ය. එහෙත්, සීනි වංචාවේ බිලියන 16 න් සතයක්වත් මේ වන තෙක් රජය සන්තක කොට නැත.

ආනයනය කළ තෙල්වල පිළිකාකාරක ඇතැයි කියැවෙයි. ඒ චෝදනාව ගැන මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකොට කොට නැත. එහෙත් තෙල්වල පමණක් නොව තව බොහෝ ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක ඇති බවත්, ඒවා හෙළි කළොත් ව්‍යාපාරික සමාගම් බිඳවැටීමට ඉඩ ඇති බවත් ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය කියා තිබේ. එම කාර්යාංශයේ රාජකාරිය වන්නේ, පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වාගැනීම මිස, ව්‍යාපාරික සමාගම්වලට බිඳවැටෙන්ට ඉඩනොදී ආරක්ෂා කරගැනීමේ රාජකාරිය නොවේ. අලි මදිවට හරක් කීවා සේ, මේ ගැන රජයේ ඇමතිවරුන්ගෙන් අපට අසන්ට ලැබෙන්නේ කුමක්ද? තෙල් ආනයනය කරන්නේ ව්‍යාපාරිකයන් මිස අපේ ජනාධිපතිවරයා නොවේ! ජනාධිපතිවරයා කොච්චර කිව්වත් ව්‍යාපාරිකයෝ අහන්නෙ නැහැ! මොන තරම් කාර්යක්ෂමතාවක්ද හැබෑටම!

අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියක් තිබේ. ඖෂධ වර්ග රෝගීන්ට ලබාදීමට කලින් මේ අධිකාරියේ අනුමැතිය අවශ්‍ය කෙරේ. පසුගිය දා කොරෝනා සඳහා චීන එන්නතක් ලබාගැනීමට කටයුතු කෙරුණි. මේ එන්නතට තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. ඒ හැරුණුකොට, එය අනුමත කිරීම සඳහා අවශ්‍ය කරන සියලු දත්ත ඖෂධ නියාමන අධිකාරියට මේ දක්වා අදාළ බලධාරීන් ඉදිරිපත් කොට නැත. එසේ තිබියදී, කෙසේ හෝ එය අනුමත කළ යුතු බවට දේශපාලන අධිකාරීන්ගෙන් කෙරුණු දැඩි බලපෑම්, අර්බුදකාරී තත්වයකට පත්වීමෙන් පසු එම නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හත් දෙනෙකු දේශපාලනඥයන් විසින් අස්කරන ලදි.  

“ඖෂධ නියාමන අධිකාරිය සම්පූර්ණ ස්වාධීන ආයතනයක් වශයෙන් පැවතීම ජනතාවගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට ඉතා වැදගත්. එහි ස්වාධීනත්වය මේ දක්වා (මේ අස්කිරීම් සිදුවන අවස්ථාව දක්වා) අදාළ ඇමතිවරයාගේ බලපෑමෙන් පවා ආරක්ෂා වී තිබුණු බව කියන්නට පුළුවන්.” – ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ ලක්කුමාර් ප්‍රනාන්දු.

මෙයින් පෙනී යන්නේ කුමක්ද? විශේෂඥයන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් අපේක්ෂා කරන විද්‍යාත්මක අනුමැතිය පවා, දේශපාලනඥයන්ගේ ඕනෑඑපාකම් මත සිදු කළ යුතුව ඇති බවත්, එසේ නොවෙතොත් ඒ විශේෂඥවරුන් සහ වෛද්‍යවරුන් පවා ගෙදර යැවීමට දේශපාලනඥයන් පසුබට නොවන බවත් නොවේද?

කවුරු වෙනුවෙන් කුමක් සඳහාද? 

මෙතෙක් කී කතාව සාරාංශගත කළොත් මෙසේ ය:
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සජ්ජිත ගෝඨාභය රාජපක්ෂගේ කාර්යක්ෂමතාව, ශානී අබේසේකර සම්බන්ධයෙන් ගත් විට, නීතියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය, දේශපාලනික අවශ්‍යතා මත හතර අතේ නැවීම සඳහා පාවිච්චියට ගෙන තිබේ. වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ සිද්ධියේදී, ස්වාධීන පොලිස් කොමිසම පැත්තකින් තියා කසිප්පුකාරයන්ට සහ දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි එම රාජ්‍ය නිලධාරියාව වින්දිතභාවයට පත්කොට තිබේ. ඒ දෙකම, ස්වාධීන රාජ්‍ය සේවයක පරාභවය කියාපායි. 

ඊළඟට, මහ භාණ්ඩාගාරයට හෙවත් මහජනතාවට ලැබීමට නියමිතව තිබූ රුපියල් බිලියන 16 ක්, ජාවාරම්කරුවන් දෙතුන් දෙනෙකු අතට පත්කිරීමට ඊනියා විධායක කාර්යක්ෂමතාව සහ සූක්ෂමතාව පාවිච්චියට ගෙන තිබේ. එය, ජනතාවගේ පැත්තෙන් දැවැන්ත මූල්‍යමය පාඩුවකි. 

ඊළඟට, පිළිකාකාරක තෙල් හරහා ජනතා සෞඛ්‍යයට විය හැකි බරපතළ අනතුර පවා, නීතියට හසු කර නොගැනීමට, එවැනිම කාර්යක්ෂමතාවකින් වගබලාගෙන තිබේ. අවසාන වශයෙන්, කෝවිඩ් වසංගතය සඳහා වන චීන එන්නත කඩිමුඩියේ අනුමත කරගැනීම සඳහා, එතෙක් ස්වාධීන ආයතනයක් වශයෙන් පැවති ඖෂධ නියාමන අධිකාරිය පවා දේශපාලනඥයන්ගේ බළල්අතක් බවට පත්කරගෙන තිබේ. 

මේ සියල්ලෙන් පෙනී යන්නේ කුමක්ද? 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට හිමිවෙතැයි 69 ලක්ෂයක් සිතූ කාර්යක්ෂමතාව, රටේ යහපත සහ මහජන සුභසිද්ධිය සඳහා නොව, දේශපාලනික සහ ජාවාරම්කාර ඕනෑඑපාකම් සඳහා අගේට භාවිතයේ යෙදෙන කාර්යක්ෂමතාවක් වී ඇති බවයි. 

ගාමිණී වියන්ගොඩ


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *