සයිනෝෆාම් එන්නතට කිසිම සායනික සහතිකයක් නැහැ භාවිතය ඉතා අනතුරුදායකයි

Spread the love





චීනයේ නිෂ්පාදිත කොවිඩ් 19 වෛරසයට එරෙහි සයිනෝෆාම් එන්නත සම්බන්ධයෙන් කිසිදු සායනික සහතිකයක් නොමැති හෙයින් එය ජනතාවට භාවිතා කිරීම ඉතා අනතුරුදායක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එම එන්නත භාවිතා කිරීම සඳහා මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර නොදුන් අතර එන්නත ගැන චීනයේ එම නිෂ්පාදන සමාගම විසින් අදාළ සායනික පරීක්ෂණ ඇතුළු  අත්‍යවශ්‍ය කාරණා සම්බන්ධයෙන් තොරතුරු ලබා දී නැති බව මෙරට විශේෂඥ කමිටුව විසින් පැහැදිලිව වාර්තා කර තිබෙන බවයි සේනාරත්න මහතා කියාසිටියේ. 

ඒ අනුව සයිනෝෆාම් එන්නත සම්බන්ධයෙන් ඇත්තේ වෛද්‍යවිද්‍යාත්මක අනුමැතියක් නොව දේශපාලන අනුමැතියක් බවද සේනාරත්න මහතා සඳහන් කරන ලදී. 

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුව වෙනුවට චන්න ජයසුමන අමාත්‍යවරයාට හිතවත් අය ජාතික ඖෂධ නියාමන අධිකාරියට පත්කරගනිමින් එහි කටයුතු සිදුකරමින් සිටින බවද හෙතෙම පෙන්වාදුන්නේය. 

”මම අහගෙන හිටියා NMR එකේ නිවේදනය. NMR එක කියනවා මේක ප්‍රදානයක් නිසා,නිකන් හම්බවෙන නිසා තාවකාලිකව අනුමැතිය දුන්න කියල. හරි පුදුම කතාවක්නේ. ඒ කියන්නේ වස එව්වොත් නිකන්, ඒකට අනුමැතිය දෙනවා. මොකද නිකන්නේ ලැබෙන්නේ. සහෝදරවරුනි මේවා ඖෂධ. මේවයින් මොනවා වෙනවද,මේවයින් දීර්ඝ කාලීනව ඇතිවන බලපෑම් ගැන දන්නේ නැහැ. මේ ඊයේ පෙරේදා තමයි හොයා ගත්තේ වැක්සින් එක ගැහුවට පස්සේ පේන් කිලර්ස් ගන්න එපා කියල. මොකද තවම ඇස්ට්‍රාසෙනකා එන්නත වගේ ඒවයෙත් සායනික පරීක්ෂණ සම්පූර්ණයෙන් අවසන් නැහැ. එන්නතේ සාර්ථක බව හා සුරක්ෂිත බව නිසා තමයි එන්නත අනුමත වුණේ. එයත් වයස 30 පහළ අයට ගහන්නේ නැහැ. මොකද 30න් පහළ අයට සායනික පරීක්ෂණ කරලා නැහැ. වැඩියෙන් වැළඳෙන්නේ වයස වැඩි අයට. ඒ අය සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා තමයි 30න් වැඩි අයට පමණක් කියල කිව්වේ. නමුත් මේ සයිනෝෆාම් එන්නතට එහෙම කිසිම අනුමැතියක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිඅරගෙනත් නැහැ. අපිට වාර්තා දීලත් නැහැ. එතකොට මේකට දීල තියෙන්නේ තනිකරම වෛද්‍ය සහතිකයක් නෙවෙයි දේශපාලන සහතිකයක්. NMR එකේ බෝඩ් එකත් අයින් කරනවා. ජයසුමනගේ කෙනෙක්ව පත්කරනවා.අන්තිමට  මේ අය ඖෂධවේදය ගැන මහාචාර්යලා වුණේ කොහොමද දන්නේ නැහැ. එයා ගැනත් මතුවෙලා තියෙන ප්‍රශ්නාර්ථය සනාථ කරනවා.” යනුවෙන් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කරුණු දැක්විය.  

ASK 


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *