සමාජ මාධ්‍ය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම – Vikalpa

Spread the love

සිදුවීමට අදාල හේතුව කුමක් වුවත්, පොළිස් නිළධාරියෙක් මහ මගදි මිනිසෙක්ට ඉතාමත් අමාණුෂික අන්දමකින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. (පහරදීම්වලදී මානුෂික අන්දමක් ඇති බව මින් ගම්‍ය නොවන බව සලකන්න) සමාජ මාධ්‍ය, විශේෂයෙන් ෆේස්බුක් හී එම විඩීයෝව සිය දහස් ගණනින් ඉතා ක්ෂණිකයෙන් හුවමාරු විය. ඒ සෑම තැනකදීම පොලීසියට, එම පහරදුන් පොළිස් නිළධාරියාට විරුද්ධව දැඩි විවේචනයක් එල්ල විය. පොලිස් නිළධාරියා, පොලීසිය සහ නිතිය ගැන විවිද අන්දමේ විවේචන, අදහස්, තර්කයන් ගොඩනැගිණි. ඒ සෑම එකක් තුළම ඇති කරන ලද්දේ පොලීසියේ ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධයයි. හිංසනයට එරෙහි විරෝධයයි. පහරදීමට එරෙහි විරෝධයයි. විඩියෝවෙන්, උපුටා ගත් ඉතාමත් ප්‍රභල ඡායාරූපයක් ඒ සෑම අදහසකම ප්‍රධාන ඡායාරූපය බවට පත්විය.

පහත පළවන්නේ ෆේස්බුක් හි එසේ පළවූනු අන්තර්ගතයන් කිහිපයකි

පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබද සමාජ මාධ්‍ය තුළ මෙසේ ඇවිලෙන ප්‍රභල විරෝධය සමාජයේ ඉදිරි පැවැත්මට යහපත් ප්‍රවණතාවයකි. මෙවැනි ප්‍රචණ්ඩ,අශ්ලීල ක්‍රියා සම්බන්ධයෙන් වේගයෙන් සහ ප්‍රභල ලෙස ඔන්ලයින් අවකාශය තුළ මතුවන මෙම විරෝධය, කිසියම් ලෙසකින් හෝ භූමියේදීත් මතුකර ගැනිමට කල්පනා කිරීමත් ඉතා වැදගත් ය. එය එසේ වන්නේ, ප්‍රජානත්ත්‍රවාදයට අකමැති, නීතිය තමන් යැයි සිතන පාලකයන් සිටින කලාපයක ඕනෑම මොහොතක සමාජ මාධ්‍ය අවකාශය ක්ෂනිකයෙන් අවහිර කළ හැකි නිසාය. එසේම අවශ්‍ය වන්නේ නම්, සමස්ථ අන්තර්ජාල පද්ධතියම ක්ෂණිකයෙන් නවතා දැමිය හැකිය(Internet Shutdown). මිනීමරු හමුදා පාලනයක් විසින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විරෝධතාකරුවන්ව ඝාතනය කරනු ලබන්නේ යම් කාල සීමාවකදී අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම නතර කර දමමින්ය. ඉන්දියාවේ ඇතැම් ස්ථානවල ඇවිලෙන විරෝධයන් පාලනය කිරීමට මෝදී පාලනය උත්සහා කරන්නේද ඇතැම් ස්ථානයන් හි අන්තර්ජාලය අවහිර කරමින්ය. මේ අපේ කලාපයේ උදාහරණ දෙකක් පමණි.(Internet Shutdown Tracker)

සමාජ මාධ්‍ය හි බලය දන්නා ඇතැම් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන්, ඔවුන්වෙත එල්ලවන දැඩි විරෝධය මන්දගාමී කිරීමට ගන්නා ක්‍රියාමාර්ග අතර සමාජ මාධ්‍ය අවහිර කිරීමත්, ඇතැම්විට අන්තර්ජාලයම නවතා දැමීමත් සිදුකිරීම දැන් ඇති අලුත් ප්‍රවණතාවයකි. මෙය එවැනි පාලකයන්ගේ එක් ක්‍රියාමාර්ගයක් පමණි. එබැවින් ප්‍රචණ්ඩත්වයට, හිංසනයට, අසාධාරණයට විරුද්ධව දක්වන විරෝධයන් හී දී වර්චුවල් අවකාශය වගේම, භූමියේදීත් එය පවත්වා ගන්නේ කෙසේද යන්න දැන් ලංකාව තුළ ක්‍රියාකාරීන් කල්පනාවට ගැනීම ඉතා වැදගත්ය.

විරෝධතාවයන් ද්‍රවීකරණයට ලක්නොවී පවත්වා ගැනීම

දැන් මෙම පොලිස් නිළධාරියාගේ ප්‍රචණ්ඩ, හිංසනිය හැසිරීමට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ, විශේෂයෙන් සිංහල භාෂාවෙන් දක්වන ප්‍රභල විරෝධය ඇතැම් විට එයට වඩා ප්‍රභල හිංසනීය අවස්ථාවලදී අප දුටුවේ නැති තරම්ය. විශේෂයෙන්, ආරක්ෂක අංශවල අත්අඩංගුවේ සිටිමින්, ඒ සිටින අතරතුර විස්කෝතු කන කුඩා දරුවෙක්ගේ ඡායාරූපයක්, 2009 වසරේ දී අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර ගියේ ය. පසුව, එම ඡායාරූපයේ සිටි දරුවා ට වෙඩි තබා ඇති ඉතා සංවේදී ඡායාරූපයක් එයට වඩා වේගයෙන් අන්තර්ජාල අවකාශය පුරා පැතිර ගියේ කම්පනයක් ද ඇති කරමිනි. නමුත්, එම කම්පනීය සිදුවීම් පිළිබද විශාල විරෝධයක් හෝ කථිකාවක් සිංහල භාෂාවෙන් ඇති වූයේ නැති තරමිය. තවත් අවස්ථාවක, හමුදා අත්අඩංගුවේ පසුවන කාන්තාවක් වටකර ගෙන සිටින ඡායාරූපය ද එම කාලය පුරා අන්තර්ජාලයේ ව්‍යාප්ත විය. පසුව, එම කාන්තාව ඝාතනය කර ඇති ඡායාරූපයක් ද පසුව අන්තර්ජාලයට එක්විය. ජාත්‍යන්තරව දැඩි විරෝධයක් සහ විවේචනයක් එවැනි සාහසික සිදුවීම්වලට එල්ලවිය. නමුත් පෙරසේම බහුතරයක් දකුණේ සිංහල භාෂිත විරෝධය එය හමුවේ ගොලු විය. කුඩා දරුවන් ඇතුලු නිරායුද සිවිල් වැසියන් ඉතාමත් කුරිරු අන්දමට මරා දැමූ හමුදා නිළධාරියෙක් ව, ලංකාවේ අධිකරණයක් තුළින් වැරදිකරු කල පසු, ඔහුට ජනාධිපති සමාව දීමේදී ද බහුතරයක් දෙනා සිය විරෝධයේ සීමාව ලකුණු කලේ නිර්ලජ්ජිත ලෙසය. නමුත්, ඒ බහුතරයක් දෙනාගේ සීමා කිරීම් හමුවේ වුව ද, සුලු පිරිසක් හෝ සිය ප්‍රභල විරෝධය මතුකිරීම ද සටහන් කළ යුතුය. කෙසේ නමුත්, තෝරාගත් සහ වාර්ගික පදනම් මත විරෝධයන් මතුවන සහ ප්‍රතිචාර දක්වන තත්ත්වයක් තවමත් අප රට තුළ ඇත. එම නිසා, එවැනි ද්‍රවීකරණයන්වලට නතු නොවී, මිනිසා පිළිබද පොදු අදහසින් සහ මානව හිමිකම් පදනම්ව, විරෝධතාවයන් සහ පෙනි සිටීම් දැන්වත් අත්‍යවශ්‍ය ය. පොලිස් ප්‍රචණ්ඩත්වය, නැතිනම් ඇතැම් විට මුදාහරින රාජ්‍ය ප්‍රචණ්ඩත්වය උතුරේදී සිදුවුවත්, දකුණේ දී සිදුවුවත් එයට විරුද්ධ විය යුතුය. එය දෙමළ මිනිසාට ද, සිංහල මිනිසාට ද. මුස්ල්ම් මිනිසාට ද යන්න නොව සමස්ථ ‘මිනිසා’ යන පොදු අර්ථයෙන් එයට විරුද්ධ විය යුතුය. එම නිසා, ප්‍රචණ්ඩත්වයට, හිංසනයට දක්වන විරෝධයේදී, ජාතිය, වර්ණය, වර්ගය හෝ කුලය යන්න තව දුරටත් තෝරා ගන්නේ නම් එයින් සිදුකරන කොතරම් ප්‍රභල විරෝධයක් වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අර්ථයෙන් සමාජයට යහපතක් උදාකරන්නේ නැත. එම නිසා වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ ඇවිලෙන විරෝධයන් එවැනි ද්‍රවීකරණයන්ට හසු නොවී පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී දැක්මකින් සිදුකිරීමේ වගකිමක් ලංකා සමාජයේ ශිෂ්ටත්වය බලාපොරොත්තුවන සියලු දෙනාටම තිබිය යුතුය. එසේම, සුලු පිරිසක් තුළ හෝ දැනට යම් පමණක තිබෙන එම ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් තවදුරටත් ශක්තිමත්ව සහ නිර්මාණශීලිව භාවිතා කරමින්, වඩා පුලුල් ප්‍රජාන්ත්‍රවාදී අවකාශයක් වෙනුවෙන් පෙනී සිටීම අදට වගේම අනාගතයටත් වැඩදායක වනු ඇත.

පසු සටහන

පොළිස් නිළධාරීන් හෝ හමුදා නිළධාරීන් විසින් කිසිදු බියක් නැතිව, මහමගදී මේසේ මිනිසුන් මත ප්‍රචණ්ඩත්වය මුදා හරිනු ලබන්නේ ඇයි? අප ඇසිය යුතු අනෙක් ප්‍රශ්නයයි. එය විශාල වශයෙන් පැහැදිලි කළ යුතු කරුණක් නොවේ. නමුත්, ඉහතින් සදහන් කළ, දරුවන් ඇතුලු නිරායුද මිනිසුන් කෲර අන්දමින් ඝාතනය කළ හමුදා සාජන්වරයා පිළිබද කල්පනා කරන්න. ඔහුට ජනාධිපති සමාව ලැබුණි. රතුපස්වල විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණදුන් හමුදා නිළධාරියා ගැන කල්පනා කරන්න. ඔහුට උසස් වීමක් ලැබුණු බවට සැලය. සිය ජීවිකාව කරගෙන යාමට භූමිතෙල් සහණයක් ඉල්ලා සාමකාමී උද්ගෝෂණයක නිරත වූ හලාවත ධිවර ජනයාට වෙඩි තැබීමෙන් ඇන්ටනී නම් ධිවර කාර්මිකයා ඝාතනයට ලක්විය. එම උද්ගෝෂණයට වෙඩි තැබීමට අණදුන් ආරක්ෂක අංශ නිළධාරින්ට සිදුවූයේ කුමක්ද? සිතා බලන්න. ලංකාව නම් එයයි. තවත් උදාහරණ ඕනෑ තරම් තිබේ. නමුත්, වරදකර දඩුවම් නොළබා සිටීමේ අතිශය බියකරු සංස්කෘතිය සිය රාජ්‍ය පාලනයේ කොටසක් ලෙස, මේ දක්වා ලංකාව පාලනය කල සියලු පාලකයන් විසින් පවත්වාගෙන ගොස් ඇත. වර්තමානයේදීත් එය එසේමය. එම නිසා, එවන් තත්ත්වයකදී, පොලිස් හෝ හමුදා නිළධාරින් විසින් මිනිසුන් මත ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කිසිදු බියක් දක්වන්නේ නැත. එම නිසා වරදකර දඩුවම් නොළබා සිටිමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය නොනවත්වා පවත්වගෙන යාම ද, එයට සමාජය තුළ සංවිධානගත විරෝධයක් නොමැති වීම ද මෙවැනි ප්‍රචණ්ඩත්වයන්වලට එක් ප්‍රධාන හේතුවකි.

THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: