විත අස පත 15 – කාජල් : පළමු බොලිවුඩ් ගැහැණු සලකුණ

Spread the love





Hit TV මතකද? මීට වසර ගණනකට ඉහත දී සිරස නාලිකාව මඟින් හින්දි චිත්‍රපට බොහොමයක් විකාශය කළේ මේ නාමකරණය යටතේ ය. සතියේ දිනවල හරියටම දවල් 1.30ට චිත්‍රපටයක් විකාශය වීම ඇරඹෙයි. ඒ දවස්වල පාසැල් ඇරුණේ දවල් 2ට ය. ගෙදරට එන විට ඔරලෝසුවේ වෙලාව 2.30 හෝ ඒ අවට කාලයක් සටහන් වී තිබේ. ඒ පැමිණ රුපවාහිණිය ක්‍රියාත්මක කර බලන විට චිත්‍රපටයේ කාලත් බාගයත් අතර ප්‍රමාණයක් විකාශය වී හමාර ය. නමුත් රිවයින් කර බලන්නට පියෝ ටීවී නැත; යූ ටියුබ් ද නැත. අඟල් 24 පුංචි තිරය පමණක් ඇත. එයින් චිත්‍රපටය යළිත් මුල සිට බලන්න නම් නැවත විකාශයක් වන තුරුම හිස කෙස් ගැණිය යුතුය.

මේ අප පාසැලේ 8,9 පන්තිවල ඉගෙනුම ලැබූ කාලයයි. එසේ කාලය සහ අවකාශය සමඟ පොරබදිමින් හින්දි චිත්‍රපට නැරඹු මට ඒ කාලයේ මහා දරුණු, දැවෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවී තිබුණි. ප්‍රශ්නය ඒ හැම චිත්‍රපටයකම නිළියන් මට එකම අයෙකු ලෙස පෙනෙන්නට වීමයි. මධුරි ඩික්සිත්, ජුහී චවුලා, ශ්‍රී දේවී, කරිෂ්මා කපූර්, උර්මිලා ආදී විවිධ නම්වලින් මගේ මිතුරන් ඒ ගැහැණු රූප බෙදා වෙන්කළ නමුත් මට ඔවුන් සියලු දෙනාම පෙනුණේ එකම විදියට ය; හැමෝම ඇන්දේ, කෑවේ, බිව්වේ, හිනාවුණේ, ඇඩුවේ, නැටුවේ එකම විදියට ය. හැමතැනම වගේ මෙතැනත් අවුල මගේ බව සිතා ගත් මම ඒ ගැන මිතුරන් සමඟ තර්ක නොකර, නිළියන් ගැන වද නොවී පාඩුවේ චිත්‍රපට බැලීමට පමණක් හිත හදා ගත්තෙමි.

මෙන්න මේ පින්තූරවල ඉන්න නිළියගේ වෙනත් රූපයක් මුල්ම වතාවට මගේ ඇහැ ගැටුණේ අන්න එහෙම අන්ද මන්ද ගතියකින් චිත්‍රපටයක් නරඹමින් සිටි වෙලාවක ය. චිත්‍රපටය කුමක්දැයි දැන් මතක නැත. නමුත් දැක්ක ගමන් ඇය අනෙක් නිළියන්ට වඩා ‘වෙනස්’ බව මට සිතුණි. අනෙක් අයගේ රන්වන් පැහැ මුහුණු වෙනුවට ඇයට තිබුණේ දුඹුරු පැහැයට හුරු පෙනුමකි. වෙනත් බහුතර නිළියන්ගේ ස්ත්‍රී ලාලිත්‍යය පරයා ඈ කෙරෙන් විද්‍යාමාන වුණේ බුහුටි, ගැටවර, දඟකාර හැසිරීමකි. වැඩිදුර තොරතුරු සොයා බලන විට ඇගේ නම ‘කාජල්’ බව දැනගන්නට ලැබුණි. මගේ ප්‍රශ්නය වහා විසඳුණි ! අනෙක් නිළියන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි හින්දි නිළියක් පළමු වතාවට මට හමුවුණි. එනයින් ඈ මගේ හදවත මත පළමු බොලිවුඩ් ගැහැණු සලකුණ තැබූ ඉන්ද්‍රජාලිකාවයි !

එය ජීව විද්‍යාත්මකව මෙන්ම මනෝ විද්‍යාත්මකව ද අපේ අභ්‍යන්තරයෙහි ශෘංගාරාත්මක අහුමුළු කැලඹෙමින් තිබූ සමයයි. එකී අඳුරු අහුමුළු ආලෝකමත් කිරීමට එල්ල වූ කාජල්මය ආලෝක ධාරා බොහොමයක් ගැන මෙතැන ප්‍රසිද්ධියේ ලියන්නට නොහැකි ය. ‘හමේෂා’ චිත්‍රපටයේ ඇය රඟපෑ එක් ජවනිකාවක් සිහියට නැගේ. රතු පැහැති ගවුමක් හැඳි කාජල් රතු කුඩයක් ද හිසට ඉහළින් ඔසවාගෙන මහ වැස්සේ කොහේදෝ ගමනක් යයි. ඇගේ දිගු ගවුම දෙපසින් දණහිස මට්ටමටත් ඉහළට විවර වී ඇත. වැස්සට තෙමුණු ඇඳුම තදින් ඇඟටම ඇලිලා ය. හමන සුළඟින් එහෙ මෙහෙ විසිරෙන ගවුමේ විවර අතරින් ඇගේ දීප්තිමත් කළවා යුග්මය දිලිසෙමින් අප සමඟ හිනැහේ. නිකමට කල්පනා කර බලන්න ! බාලක පාසලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 12,13,14 මට්ටමේ ගැටවරයන් පිරිසක් තලු මරමින් ඒ ගැන මොන මොනා කතා කරන්නට ඇද්ද; තව වෙන මොන වගේ දේවල් කරන්නට ඇද්ද?

අද කාජල් මැදි වියේ ගැහැනියකි. නමුත් තවමත් ඇගේ දසුන සිත මත කදිම ආස්වාදයක් ජනිත කරයි. අජේ දේව්ගන්ට ද වඩා ගැඹුරින් සහ සියුම්ව මම ඒ ආස්වාදය විඳින බව මට ටක්කෙටම සහතික කළ හැකිය.

– කසුන් සමරතුංග


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *