ලිස්සා පස්සට වැටෙනවා වෙනුවට එක අඩියක් ඉදිරියට තබමු !

Spread the love





(2021 මාර්තු 22 දිනට යෙදුණු ඩී.එස්. සේනානායක 69 වන අනුස්මරණය වෙනුවෙනි)

1815 මාර්තු මස 02 දින උඩරට රදළයෝ මෙරට ආධිපත්‍ය තුන්වැනි ජෝර්ජ් රජතුමාට සින්නක්‌කර ලියා දුන්හ. ඒ සමගම පුරා වසර 2359 ක ඉතිහාසයකට හිමිකම් කියූ ශ්‍රී ලංකාවේ ස්‌වාධිපත්‍ය අහෝසි වී ගියේය. අනතුරුව 1818 දී හා 1848 දී පැන නැඟුණු කැරලි ඔස්‌සේ එය නැවත ලබා ගැනීමට ස්‌වදේශිකයන් උත්සාහ කළ ද සුද්දාගේ බයිනෙත්තුව හමුවේ ඔවුන්ට අතරමඟ නතර වීමට සිදුවිය. එයින් සිදු වූයේ සිය දිවි දෙවැනි කොට රටට ආදරය කළ වීරයන් පිරිසක්‌ එයට අහිමි වීමයි. ඒ සියල්ල වික්‍රමාන්විත වීර කතා ලෙස ඉතිහාසය පුරා ලියැවෙද්දී මව්බිමේ නිදහස වෙනුවෙන් ලාංකිකයන් නැඟූ හඬ 19 වන ශතවර්ෂයෙන් මෙපිටට ද පැන නැඟුණේය. අවසානයේ හිරු නොබසින අධිරාජ්‍යයට තවත් එක්‌ රාජ්‍යයක්‌ අහිමි කරමින් 1948 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාවට නිදහස හිමි විය. මේ සටහන වෙන්වන්නේ ඒ නිදහසේ කතාවේ කතානායකයා වෙනුවෙනි. ඔහු නමින් දොන් ස්‌ටීවන් සේනානායකයි. නැතිනම් ඩී. එස්‌. සේනානායකයි.

දිනය 1884 ඔක්‌තෝබර් 20 වෙනිදාය. මීරිගම බෝතලේ වලව්වේ සේනානායක මුදලිතුමා වෙනදා මෙන්ම සුපුරුදු පරිදි සිය වතුපිටිවල කටයුතු කරමින් සිටියේය. හදිසියේම ඔහුට පණිවිඩයක්‌ ලැබුණි. එයින් කියැවුණේ ඒ වන විට ගැබ්බරව සිටි වලව්වේ ළමාතැනී තම දරු උපත සඳහා සූදානම් වී සිටින බවයි. මුදලිතුමා කඩිමුඩියේ ගෙදර දිව්වේය. ඔහු යන විට ඇය සිය බාල පුතණුවන් ලොවට බිහිකර සිටියාය. මුදලිතුමා කිරිකැටි දරුවා දෝතින්ම ගෙන බැලුවේය. අලුත උපන් ඒ දරුවාට දොන් ස්‌ටීවන් සේනානායක හැටියට නම් තබන ලදී.

බෝතලේ වලව්වත්ත පුරා පැතිර තිබූ බුරුත, නැදුන්, තේක්‌ක ගස්‌ කඳන් මෙන් දොන් ස්‌ටීවන්ගේ ද කරදණ්‌ඩ උස්‌වී ගියේය. අධ්‍යාපනය සඳහා ඔහුව ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලට ඇතුලත් කරන්නට මුදලිතුමා තීරණය කළේය. පාසලේ ඉගෙනුම ලබන කාලයේ ඔහුගේ සිත වැඩි කොටම ඇදී ගියේ පොතපතට නොව සෙල්ලම් කෙරෙහිය. කායික ක්‍රීඩාවලදී ඔහු කැපී පෙනෙන දස්‌කම් ප්‍රදර්ශනය කළේය. පොතට වඩා සෙල්ලමට හිත යොදවන මේ හුරුබුහුටි කොළු ගැටයා එකල ගුරුවරු හැඳින්වූයේ දඟකාරයකු වශයෙනි.

පාසල් අධ්‍යාපනයෙන් පසු ඩී. එස්‌. රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් සේවයට බැඳුණේය. නමුත් එය ඔහුට තෘප්තිමත් රැකියාවක්‌ නොවීය. එබැවින් එයට ආයුබෝවන් කියූ ඔහු තම පියාගේ වතුපිටි, වැවිලි කටයුතු සොයා කියා බලමින් කටයුතු කරන්නට පටන් ගත්තේය. 1912 වසර ඩී. එස්‌. ගේ ජීවිතය වෙනස්‌ මඟකට යොමු කළ වසරක්‌ විය.

එවකට සමස්‌ත ලාංකේය සමාජයම අධිරාජ්‍යවාදයේ යකඩ සපත්තුව යට සැඟවී තිබුණේය. සුදු පාලකයන් රට පුරා ගමක්‌ ගමක්‌ පාසා තැබෑරුම් විවෘත කරන්නට පටන් ගත්හ. ඉන් රටට සිදුවන විපත දුටු ඩී.එස්‌. ගේ වැඩිමහල් සොයුරු එෆ්.ආර්. සේනානායක, බාරොන් ජයතිලක, ආතර් ද සිල්වා වැන්නන් කිහිපදෙනකු හා එක්‌ව අමද්‍යප මහා සභාව පිහිටුවාගෙන ඊට එරෙහිව කටයුතු කරන්නට පටන් ගත්තේය. තරුණ ඩී.එස්‌. ද ඔවුන් සමග එක්‌වී ක්‍රියාකාරීව ඊට සිය දායකත්වය ලබා දුන්නේය. ඔවුන්ගේ යම් ක්‍රියාකාරකම් හුදු පාලකයන්ට හිසරදයක්‌ බවට පත්වෙමින් පැවතුණි.

1915 සිංහල – මුස්‌ලිම් කෝලාහලය පටන් ගැනුණේ ඔය අතරය. එය දඩමීමා කරගත් සුදු පාලකයෝ ඩී. එස්‌. අත්අඩංගුවට ගත්හ. රට යන අත ඩී.එස්‌. පැහැදිලිවම තේරුම් ගත්තේය. අධිරාජ්‍යවාදීන් විසින් රට තුළ අභ්‍යන්තර ජාතිවාදී හැඟීම් උත්සන්න කරමින් සිය බලය තහවුරු කර ගැනීමට දරන උත්සාහය ඔහු දුටුවේය. මේ ආකාරයට කිසිම දිනක ජාතික නිදහසක්‌ උදාකර ගත නොහැකි වන බව ඔහුට පසක්‌ විය. අවසානයේ ඩී.එස්‌. ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කපන්නට තීරණය කළේය.

1924 ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවට ඔහු මීගමුව ආසනයෙන් තෝරා පත්වෙමින් දේශපාලනයට පිවිසෙන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසයි. අනතුරුව 1931 බිහිවූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළත් වන්නේ මිනුවන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙනි. එම රාජ්‍ය සභාවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරයටද පත්වන්නේ ඩී.එස්‌. ය. ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දෙමින් ඔහු රට තුළ ඉඩම් පෙරළියක්‌ ඇති කළේ ඒ තනතුරේ වැඩ කටයුතු සිදුකරද්දීය. ඒ වන විටත් රටට නිදහස ලබා ගැනීමේ සටන ඔහු ආරම්භ කර තිබිණ. 1948 පෙබරවාරි 04 වැනිදා රටට අත් විඳින්නට ලැබෙන්නේ එම උත්සාහයේ ප්‍රතිඵලයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙනුත්, එක්‌සත් ජාතික පක්‌ෂයේ සමාරම්භකයා වශයෙනුත් ඩී. එස්.ට ඉතිහාසයේ පරිච්ඡේදයක් වෙන්වෙයි. 1948 ජුනි මස 19 දින එක්‌සත් ජාතික පක්‌ෂයේ විධායක කාරක සභාව අමතමින් ඔහු මෙසේ කීවේය.

“…අපේ රට විශේෂයෙන්ම ගොවි රටක්‌ වන බැවින් වැසියන්ගේ ආදායම් නිපදවීමේ ශක්‌තිය වැඩිකිරීම පිණිස මෙහි කෘෂිකර්ම තත්ත්වය දියුණු කිරීම අවශ්‍යමය. අප විසින් අලුත් ඉඩම් වගාකළ යුතුව තිබේ. මෙය ලේසි පහසු වැඩක්‌ නොවේ. රක්‍ෂාව නැති මිනිසුන් රංචුවක්‌ එක්‌ කරගෙන ඔවුනට බිත්තර වී ස්‌වල්පයක්‌ දීමෙන් හා කටයුතු කරගෙන යන්නට යැයි කීමෙන් පමණක්‌ අලුත් ඉඩම් වගාකළ හැකි නොවේ. පළමුවෙනි කටයුත්ත ඔවුන්ට වතුර සපයා දීමය. ගොවි ජනපදයේ පදිංචි වන්නන් උදෙසා ගෙවල් තැනිය යුතුය. ඔවුන්ගේ පහසුව පිණිස සනීපාරක්‌ෂාව සැලසිය යුතුය. ඔවුන්ගේ දරුවන්ගේ ඉගෙනීමට පාඨශාලා ද උවමනා කෙරේ. අප විසින් කර්මාන්ත දියුණු කළ යුතුය. සමහරුන්ට ඔවුන්ගේ විවාද සමිතිවලදී එය පෙනෙන්නාක්‌ මෙන් මේ කටයුත්ත පහසු වැඩක්‌ නොවෙයි. කැමති යම් දෙයක්‌ ඒවා මිටි හෝ වේවා දෑකැති හෝ වේවා ලක්‌ෂ ගණන් සැපයිය හැක. එසේ කළ හැක්‌කේ ඊට උවමනා කරන යන්ත්‍ර උපකරණ ද ද්‍රව්‍යද වේගය උපදවන තෙල් ආදියද පුහුණුවූ කම්කරුවන්ද මේ සියල්ලට උවමනා පිටරට ගනුදෙනු කරන මුදල් ද යම් කෙනකු විසින් නිෂ්පාදනය කළේ නම්ය. සියලු රට වැස්‌සන් දන්නාක්‌ මෙන්ම මුදල් හම්බ කිරීමට වඩා වියදම් කිරීම පහසුය. මේ කරුණ පුද්ගලයන් ගැන මෙන්ම ආණ්‌ඩුව පිළිබඳවද එසේමය. අපි අපේ ධනය විකාර අඩමාන වැඩවලින් නාස්‌තිකර දැමීමට අදහස්‌ නොකරමු. ලිස්‌සා පස්‌සට වැටෙනවා වෙනුවට ඉදිරියට තබන එක අඩියක්‌ ස්‌ථිර ලෙසද සහතික ලෙසද තැබීමට යෝජනා කරමු. අධ්‍යාපනය සඳහා අපට වියදම් කළ හැකි මුදල් අපි වියදම් කිරීමට අදහස්‌ කරමු. මක්‌නිසාද යත් රටේ දියුණුව සඳහා එය අවශ්‍ය බැවිනි. රටේ සමෘද්ධිය සඳහා අවශ්‍ය වූ කරුණු අතුරෙන් තව එකක්‌ නම් සනීපාරක්‌ෂාව පිළිබඳ වියදම්ය. මේ කරුණෙහිලා ආරෝග්‍යශාලා ද නිවාසද සංවිධානද ගැන වියදම් කිරීම පමණක්‌ නොව විශේෂයෙන්ම රෝග වැළැක්‌වීමේ වෛද්‍ය සේවයන් සඳහා ද වියදම් කළ යුතුයි කැලෑ උණ, ක්‍ෂය රෝගය, සමාජ රෝග ආදිය පිළිබඳව මහජනයාට කරන පොදු ප්‍රතිකාර ක්‍රමය අතිශයින්ම ප්‍රධානව පවතියි…”

දේශපාලන ලෝකයේ නායකයන්ගේ අවසානය විවිධ ආකාරයෙන් සිදුවී තිබේ. සමහරුන් අවස්‌ථාවාදී දේශපාලනය විසින් ඝාතනය කර දැමීය. සමහරු හදිසි අනතුරුවලට ලක්‌වී ජීවිතයේ සමුගත්හ. තවත් සමහරු පූර්ණ ආයුෂ භුක්‌ති විඳ මිය ගියහ. මේ සියලු දෙනා අතර ඩී.එස්‌.ට හරිම සරදමකට මුහුණදීමට සිදුවිය. ඔහු සිය ජීවිතය අවසානය කරා ළඟා කර ගත්තේ තමාගේ විනෝදාංශය නිසාය.

අශ්වයන් පිට ගමන් කිරීම ඩී.එස්‌. ගේ ප්‍රියතම විනෝදාංශයකි. ඉඩ ලැබෙන සැම දිනකම උදේ වරුවේ ගෝල්ෆේස්‌ පිට්‌ටනියේ තම අශ්වයාගේ පිටේ රවුමක්‌ දෙකක්‌ යෑමට ඔහු ප්‍රිය කළේය. 1952 මාර්තු 21 වැනිදා ද එවැනි දිනයක්‌ විය. ඩී.එස්‌. උදෙන්ම ගෝල්ෆේස්‌ පිටියට පැමිණියේ ඒ විනෝදාංශය වෙනුවෙනි. නමුත් විනෝදාංශය ඔහුව ශෝකාන්තයක්‌ කරා රැගෙන ගියේය. උදෑසන නිවසින් පිටවුණ ඩී.එස්‌. ට නැවත කිසි දිනෙක පණ පිටින් නිවස කරා යෑමට ඉඩ ලැබුණේ නැත. ගෝල්ෆේස්‌ පිටියේදී ධාවනය වන අසු පිටින් බිමට ඇදවැටුණු ඔහු බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මාර්තු 22 දින සදහටම දෙනෙත් පියා ගත්තේය. ඒ පුවත රටේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ හුස්‌ම මොහොතක්‌ නතර කර දැමීමට සමත් විය.

– SVR


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *