ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වූ ‘ජිනීවා යෝජනා’ සම්මතයි! – Vikalpa

Spread the love

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ අද(23) පැවති ඡන්ද විමසීමේදී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව  වැඩි ඡන්දයෙන් සම්මත විය.

එම යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද, යෝජනාවට විපක්ෂව රටවල් 11ක්ද සිය ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 14ක් යෝජනාව සදහා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. අසල්වාසී ඉන්දියාව ද යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර විය.

අද(23) ජිනීවා හී දී සම්මත වූ යෝජනාවේ, වැදගත්ම අංගයක් වන්නේ, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන වගකීම් බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවිය සදහන් කරයි.

“ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.”

මේ අනුව මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙහි විශේෂ ඒකකයක් පිහිටවෙනු ඇති අතර ඊට නීතිවේදීන්ද ඇතුළත් වෙයි. මේ සඳහා ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන 2.8 වැය ශිර්ෂයක් ලැබෙනු ඇත. කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරුතුරු මෙම ඒකකය මගින් ලබා දෙනවා ඇත. (SLB)

කරුණු 16කින් සමන්විත, සම්මත කරන ලද එම වාර්තාව මගින් වගකීම් රාශියක් ලංකා ආණ්ඩුවට ද පැවරෙයි. ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 43 වැනි සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාචික කරුණු ඉදිරිපත් කිරීම සහ 46 වැනි සැසිවාරයේදී සභාව වෙත ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සාදරයෙන් පිළිගන්නවා.’ එහි පළමු කරුණෙහිම දක්වා තිබේ. සම්මත කරන ලද සම්පූර්ණ වාර්තාව ට පිවිසෙන්න.

සම්මත කරන ලද එම වාර්තාවේ ඇතුලත් කරුණු 16, MediaLK.com වෙබ් අඩවිය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති අතර, එයින් උපුටාගත් එම කොටස පහතින් පළ කරමු.

1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 43 වැනි සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාචික කරුණු ඉදිරිපත් කිරීම සහ 46 වැනි සැසිවාරයේදී සභාව වෙත ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සාදරයෙන් පිළිගන්නවා.

2. මහ කොමසාරිස් කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම සහ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටිය සාදරයෙන් පිළිගන්නවා. එවැනි කටයුතුවල හා සංවාදවල අඛණ්ඩ පැවැත්ම ඉල්ලා සිටින අතර, කාර්යාලය විසින් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, විශේෂ ක්‍රියා පටිපාටි මගින් කරනු ලබන නිර්දේශ පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වන ලෙසත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා.

3. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා අතර, මෙම ආයතන සඳහා සහයෝගය පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කරනවා, ඔවුන්ගේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම, කාර්යාල දෙකටම ඔවුන්ගේ බලතල ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හා තාක්ෂණික ක්‍රම ලබාදීම, පීඩාවට පත් අවදානමට ලක් වූ පවුල් සඳහා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කෙරෙහි අවධානය යොමුකර, අතුරු සහන පියවර ඉදිරියට ගෙනයෑම සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධි, අතුරුදන්වූවන්ගේ පවුල්වලට තම ආදරණීයයන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය දැනගැනීමට හැකිවන පරිදි විසඳීම.

4. ශ්‍රී ලංකාවේදී එල්ටීටීඊය විසින් සිදුකරන ලද අපරාධ ද ඇතුළුව සියලු පාර්ශ්ව විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සවිස්තර වාර්තාවෙන් අවධාරණය කර ඇති ආකාරය⁣ට පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරයි.

5. දේශීය විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනත්වයක් නොමැති බවත්, එහි බලය වන්නේ පෙර කොමිෂන් සභා සහ කමිටු පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම බවත් අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම සඳහා බලයක් නොමැති බවත් 2021 ජනවාරි 22 වැනිදා නිවේදනය කළ අතර, දේශීය යන්ත්‍රණවල වගවීම පිළිබඳ නිරන්තර අඩුපාඩුවක් එහිදී සටහන් කරයි.

6. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.

7. පසුගිය වසර තුළ මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව බරපතළ කනස්සල්ල පළකරන අතර, රජයේ සිවිල් ක්‍රියාකාරකම් වේගයෙන් මිලිටරිකරණය කිරීම; මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වගකිවයුතු අධිකරණයේ සහ ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය අඩාල වීම; වැදගත් නඩුවලදී අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනවලට දඬුවම් නොලැබීම සහ එම අපරාධ සඳහා වගවීමට දේශපාලන බාධා ඇති වීම; ආගමේ හෝ විශ්වාසයේ නිදහසට ඇති අයිතියට අහිතකර ලෙස බලපාන ප්‍රතිපත්ති; දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් කොන්කිරීම් ඉහළ යෑම; සිවිල් සමාජ ක්‍රියාකාරීන් නිරීක්ෂණය කිරීම හා බිය ගැන්වීම; ජනමාධ්‍ය නිදහස සීමා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවහිර කිරීම; ස්මාරක විනාශ කිරීම ඇතුළුව යුද්ධයට ගොදුරුවූවන් ප්‍රසිද්ධියේ අනුස්මරණය කිරීම සඳහා වූ සීමා ඇති කිරීම; අත්තනෝමතික ලෙස රඳවාගැනීම; වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික පහත් සැලකීම් හෝ දඬුවම් සහ ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිරිහෙන තත්ත්වයක් පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සලකුණු පෙන්වයි. මෙම ප්‍රවණතා මෑත වසරවල ලබාගෙන ඇති සීමිත නමුත් වැදගත් වාසි ආපසු හැරවීමට තර්ජන එල්ල කරන අතර, අතීතයේ බරපතළ උල්ලංඝනයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතයන් නැවත ඇතිවීමේ අවදානමක් තිබේ.

8. කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම ආගමේ හෝ විශ්වාසයේ නිදහසට බලපෑමක් ඇති කර ති‌බෙන අතර, මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පවතින අන්තවාදී සහ වෙනස් කොට සැලකීම උග්‍ර කර ඇත. කොවිඩ්-19 ආසාදිතව මියගිය අය ආදාහනය කිරීම නිසා මුස්ලිම්වරුන්ට සහ වෙනත් ආගම්වල සාමාජිකයන්ට අවසන් කටයුතු සම්බන්ධයෙන් ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීම අවහිර කර ඇති අතර, ආගමික සුළුතරයට අසමාන ලෙස බලපා ඇත. එමගින් ඔවුන් පීඩාවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ආතතීන් උත්සන්න කර ඇත.

9. කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන සියලු අපරාධවලට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලා සිටී.

10. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කර ඇති පරිදි ඔවුන්ගේ බලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

11. මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත්, ඕනෑම ප්‍රහාරයක් විමර්ශනය කරන ලෙසත්, සිවිල් සමාජයට බාධාකිරීම්, සෝදිසි කිරීම්, අනාරක්ෂිතභාවයන් සහ පළිගැනීමේ තර්ජනයෙන් තොරව ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

12. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබඳ ඕනෑම ව්‍යවස්ථාවක් රජයේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

13. සියලුම ආගමික ප්‍රජාවලට ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් ආගමට හෝ විශ්වාසයට හා බහුවිධතාවට නිදහස ලබාදෙන ලෙසත්, විවෘතව හා සමාජයට සමාන පදනමක් මත දායක වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

14. ඔවුන්ගේ ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම ඇතුළුව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට අපේක්ෂා කරයි.

15. ඉහත සඳහන් පියවර ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ එකඟතාව, උපදේශනය සහ උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීමට මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ ක්‍රියා පටිපාටි දරන්නන් දිරිමත් කළ යුතුයි.

16. සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එහි අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසියේදී වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 49 වැනි සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි 51 වැනි සැසියේදී වගවීම ඉදිරියට ගෙනයෑම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටින අතර, එම වාර්තා දෙකම සංවාදයක් තුළ සාකච්ඡා කළ යුතුය.’

2021 වසර මුලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වාර්තාවක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැචලේ විසින් සකස් කළාය. ‘ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම් නැවත කඩකිරීමේ අනතුරුදායක ගමන් මාර්ගයක’ නමින් වූ එම වාර්තාව කියා සිටියේ මෙයට වසර 12 කට පමණ පෙර නිමාවූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවය. එසේම මහකොමසාරිස්වරියගේ වාර්තාවේ විධායක සාරාංශයෙන් පෙන්වා දී තිබුණේ, ‘ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසර දොළහකට ආසන්න වුවද සිය පාර්ශ්වයන් විසින්ම කරන බරපතළ මානව අයිතිවාසිකම් කඩ කිරීම් සඳහා වූ දඬුවම් නොලැබ සිටීමේ මුක්තිය පෙර කවදාටත් වඩා ශක්තිමත්ව ඇත.’ යනුවෙනි.

මහකොමසාරිස්වරිය ඉදිරිපත්කල වාර්තාවේ විධායක සාරාංශයෙන් උපුටා ගත් කොටස් කිහිපයක් පහත දක්වමු.!

මේ අතර ලංකාවේ බොහොමයක් මාධ්‍ය, මෙම ඡන්ද විමසීම නම් කරන තිබුණේ, ‘ලංකාවට එරෙහිව ජිනිවා යෝජනා’ යන අර්ථය මතුවන පරිදිය. මෙය පැහැදිලිවම ව්‍යාජ පුවත් වාර්තා කිරීමක් වන අතර ඉහත දක්වා ඇති යෝජනාවන් හි ‘ලංකාවට එරෙහි’ කිසිදු යෝජනාවක් නැත. එම යෝජනාව හි සම්පූර්ණයෙන්ම ඇත්තේ, ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සදහා කෙරෙන යෝජනාය. එබැවින් එම යෝජනා ‘ලංකාවට එරෙහි’ යනුවෙන් නම් කළ හැකි වන්නේ, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් තුට්ටුවකටවත් මායිම් නොකරන ගෝත්‍රික අදහස් ඇත්තන්ට පමණකි! එබැවින් මෙවැනි සිදුවීම් වාර්තාකරණයේදී, ඇතැම් මාධ්‍ය මෙම විෂය සම්බන්ධයෙන්, පෙර වසරවලදී දක්වන ලද ද්‍රවීකරණය, අද පැවැත්වූ ජීනිවා හී ඡන්ද විමසීමේදී ද දක්වන ලද්දේ ලැජ්ජා සහගත ලෙසය.

 

 

THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *