රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනය​

Spread the love





බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති උතුරු රොඩේෂියාව​, දකුණු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය (වර්තමානයේ පිළිවෙලින් සැම්බියාව​, සිම්බාබ්වේ සහ මලාවි) යන ප්‍රදේශ එක්කර 1953 දී පිහිටුවන ලද අර්ධ ස්වාධීන රාජ්‍යයක් වූ රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනය 1963 දක්වා පැවති අත්හදා බැලීමකි. මීට මධ්‍යම අප්‍රිකානු ෆෙඩරේශනය ලෙස ද කියනු ලැබීය​.

බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා වන අග්‍රාණ්ඩුකාරයකු රාජ්‍ය නායකයා ලෙසත් අගමැතිවරයකු ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් ද සහිතව මෙම ෆෙඩරේශනය පිහිටුවන ලද්දේ 1953 අගෝස්තු 1 වනදා ය​. මෙහි පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූයේ ජෝන් ජෙස්ටින් ලෙවෙලින් හෙවත් ලෙවෙලින් සාමි ය​. ඒ 1953 සිට 1957 වනතෙක් ය​. ඉන්පසු ඉතා කෙටි කළක් රොබර්ට් ක්ලාර්ක්සන් ට්‍රෙගෝල්ඩ් එහි වැඩ බැලූ අතර ඉනික්බිති 1957 – 1963 සමයේ එම ධූරය සයිමන් රැම්සේ හෙවත් ඩැල්හවුසි සාමි විසින් දරන ලදී. මෙකළ ඒ ඒ කොලනිවල ආණ්ඩුකාරවරුන් එපරිදිම සේවය කළෝය​.

1933- 1953 සමයේ දකුණු රොඩේෂියාවේ අගමැති වූ සර් ගොඩ්ෆ්‍රි හගින්ස් 1953 – 1956 සමයේ රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනයේ පළමු අග්‍රාමාත්‍යවරයා විය​. ඉන්පසු 1963 තෙක් එම ධූරය සර් රෝයි වෙලෙන්ස්කි විසින් දරන ලදී.

උතුරු රොඩේෂියාව​, දකුණු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය ප්‍රදේශ එක් වීම ආර්ථික වශයෙන් එක් කණ්ඩායමකට වාසිදායක වූයේය​. එනම් දකුණු රොඩේෂියාවේ ධනවත් සුදු ජාතිකයන්ට යි. දකුණු රොඩේෂියාවට සාපේක්ෂව උතුරු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය නොදියුණු ප්‍රදේශ වූයෙන්, එම ප්‍රදේශයන්හි සම්පත් පහසුවෙන් ප්‍රයෝජනයට ගැනීමට දකුණු රොඩේෂියාවට මෙමගින් අවකාශ ලැබුණි. කෙසේ වෙතත් ස්වදේශික අප්‍රිකානුවන් මෙහි ප්‍රමුඛ ලෙස නියෝජනය නොවූ අතර ඔවුන් 1950 දශකය අවසානයේ සිට නිදහස් ව්‍යාපාරයන් තීව්‍ර කරනු දිස් විය​.

1963 දෙසැම්බර් 31 වනදා ෆෙඩරේශනය නිල වශයෙන් අහෝසි කෙරුණි. 1964 දී උතුරු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය නිදහස ලැබුයේ ය​. උතුරු රොඩේෂියාව එතැන් පටන් සැම්බියාව ලෙස ද, න්‍යාසාලන්තය මලාවි ලෙස ද හැඳින්වේ.

1965 දී දකුණු රොඩේෂියාවේ සුදු ජාතික පාලනය බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කළ අතර එය කිසිදු රටක් විසින් පිළිනොගන්නා ලදී. දිගු නිදහස් අරගලයකින් පසු 1980 දී එරට සිම්බාබ්වේ ලෙස නිදහස ලැබීය​.

– ඇසි දිසි මානය


THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *