මහින්ද නයෙක් වගේ හැබැයි රනිල් කියන්නෙ විෂකුරු පොළඟෙක් !

Spread the love





අද (24) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපන්දිනය කියලා අහම්බෙන් මතක් වුණා.

මට මතකයි 2005 ජනාධිපතිවරණය වෙලාවේ රනිල් දිනුවම පත්තු කරන්න කියලා ඡන්දෙට කලින් දවසෙම ගෙනාපු රතිඤ්ඤා ටික මට කවදාවත් පත්තු කරන්න වුණේ නැහැ. 

ඔය රනිල්ට බෑ, රනිල්ට දිනන්න බෑ කියන මතය දශක ගණනාවක් තිස්සෙ හදලා තිබුණ එකක්නෙ.

මට මතකයි මම 10 වසරෙදි ඕක ගැන ලංකාදීප පත්තරේට ලියුමක් ලිව්වා. ඒක ගැන ස්තූති කරලා එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් මට ලියුමකුත් ඇවිල්ලා තිබුණා. 10 වසරේ කොල්ලෙක්නේ ඉතින් හෙන ලොකුයි ඒක ඒ දවස් වල.

අද දේශපාලනය ගැන නිතර කතා කරන නංගිලා මල්ලිලා මේ රටේ දේශපාලන ඉතිහාසය මල්ලිලා කියවලා බලන්න.

ඇත්තටම මම හිතන්නේ 2005 ජනාධිපතිවරණය කියන්නෙ මේ රටේ ඉරණම තීරණාත්මකව වෙනස් කරපු ඡන්දය. නොවැම්බර් 18 වෙනිදා උදේ වෙනකොට විධායක ජනාධිපති පුටුවේ වාඩිවෙන්න නියමිතව තිබුණේ රනිල් වික්‍රමසිංහ.

හැබැයි ජීවිතේ මිනිහෙක්ට වෙන්න පුළුවන් අවාසනාවන්තම විදියට තමන් රට පාවලා දුන්නා කියපු ප්‍රභාකරන්ගේ එක තීරණයකින් 18 වෙනිදා එළිය වැටෙනකොට ඡන්ද 27,000 කින් තරම් ජනාධිපතිවරණයක් වගේ දැවැන්ත ඡන්දෙකදි නොවටිනා ඡන්ද ගානකින් මහින්ද රාජපක්ෂ 50% සීමාව පන්නගන්නවා. එදා ප්‍රභාකරන් උතුරු නැගෙනහිර දමිළ ජනතාවට ඡන්දෙ දාන්න දුන්න නම් ලක්ශ 2ක් 3ක් වැඩි ඡන්දයෙන් රනිල් විධායක ජනාධිපති වෙනවා. ඒ වැරැද්දටනම් ප්‍රභාකරන් නන්දිකඩාල්වලදි වන්දි ගෙව්වා.

එදා රනිල් කොටියට රට පාවලා දුන්නා කියලා උඩපිනුම් යටි පිනුම් බඩ පිනුම් ගහ ගහ මඩ ගහලා මහින්දව ජනාධිපති පුටුවෙන් උස්සලා තියපු  ජෙප්පොන්ට අද වෙලා තියෙන්නේ ප්‍රභාකරන්ට වුණාටත් වඩා වැඩක්.

එහෙම බැලුවොත් රනිල්ට ගොඩ එන්න බැරි වෙන්නම කෙලවපු ප්‍රභාකරන්ටයි ජවිපෙටයි දෙකටම එකම ඉරණමක් දෙවිදියකට අත් වෙලා. ඒ List එක තව දිග වෙයිද කියන එක අනාගතයට අයිති දෙයක්.

කොහොම හරි 2005 න් පස්සෙ ඉතිහාසය වෙනස් වෙනවා. අවසානයේ රනිල්ට නැවත අවස්ථාවක් හම්බෙනවා 2015 දි. රනිල් තමන්ට ඒ ලැබුණු අවස්ථාව ඉතාම අවාසනාවන්තම විදියකට අවසන් කර ගන්නවා.

හැබැයි තව දෙයක්.

කෙනෙක්ට කොයි තරම් විහිළුවක් වගේ හිතුණා වුණත් ඒක රනිල්ට ලැබුණු අන්තිම අවස්ථාවද කියලා කියන්න මම දැන්ම ඉක්මන් වෙන්නෙ නැහැ. මොකද 2014 අගෝස්තු වෙනකනුත් කවුරුත් හිතුවෙ නෑනෙ තව මාස 4කින් එවකට මහා මේරු පර්වතය වගේ හිටපු මහින්ද රාජපක්ෂ පැරදිලා ගෙදර යයි කියලා. ඒ නිසා දේශපාලනය ගැන අනාවැකි කියන්න උවමනාවක් නැහැ. 

හැබැයි ලෝක සහ ලංකා දේශපාලන ඉතිහාසය කියන දෙකම ටිකක් කියවලා බැලුවම තමන්ගේ ආසනය පවා අහිමි වුණු නායකයෝ ආයේ නැගිටලා තියෙනවා. ඒ ලිස්ට් එක පොඩිම නැහැ.

අවසාන වශයෙන් තව දෙයක් කියලා ඉවර කරන්නම්.

මම කියවලා තියෙනවා LTTE දේශපාලන න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් හරි ප්‍රභාකරන්ම හරි එක වතාවක මෙහෙම කියලා තියෙනවා. ‘මහින්ද කියන්නෙ නයෙක් වගේ මිනිහෙක්. දෂ්ට කරන්න කලින් පෙනේ එහෙම පුප්පලා ඔළුව උස්සලා ටිකක කැරකැවිලා තමයි දෂ්ඨ කරන්නෙ. එතකොට අයින් වෙනවනම් අයින් වෙන්න වෙලාව තියෙනවා. හැබැයි රනිල් කියන්නෙ විෂකුරු පොළඟෙක්. මේ නිදහසේ සැපේ නිදාගෙන ඉන්නවා වගේ පේන්න ඉන්න ගමන් එක ක්ෂණයෙන් දෂ්ට කරනවා හිතාගන්න බැරි වෙන්න.’

මේ දවස්වල රනිල් ඉන්න විදියට දැක්කම හිතෙන්නෙ නිදි නෙවෙයි මැරිලමද මන්දා කියලා. ඒ තරම් දේශපාලනිකව නිශ්ශබ්දයි. මොකක් හරි Youtube සංවාදයකට ආවත් වෙනදා වගේ බම්මන්නා නිවේදකයා එක්ක තරහෙන් ඉන්නව වගේ නැතුව හිනාවෙලා ෆුල්ම relax එකේ ඉන්නවා පේනවා.

කතාවක් තියෙනවා වඩාත්ම ශක්තිමත්ම පණිවිඩය නිහඬ බව කියලා.

ඒ වගේම ඔය නැව්වල එහෙම යන අය නිතරම කියන කතාවක් තමයි මහා කුණාටුවක් එන්න කලින් මුහුදේත් මාරම ලොකු නිහැඬියාවක්, නිසංසල කමක් තියෙනවා කියලා. පරිස්සමෙන්. මොකද පොළඟෙක් ඇත්තටම මැරිලද නැද්ද කියලා හොයාගන්න දෂ්ඨ කරනකන්ම ඉන්න වෙන්න පුළුවන්.

ඔබ රනිල්ට මොන තරම් කුණුහරපෙන් බැන්නත් විරුද්ධ වුණත් මේක විතරක් මතක තියාගන්න.

අපේ රටේ දැනට ඉතුරු වෙලා ඉන්න නායකයනගෙන් මහින්ද සහ රනිල් කියන්නෙ රටක් පාලනය කරන්න පුළුවන් එකම මිනිස්සු දෙන්නා. මහින්දට දැන් ටිකක් වයස්ගත වීම කියන සාධකය බාධාවක් වෙලා කියලා පේනවා. ඒ ඇරුණම රාජ්‍ය යාන්ත්‍රණය කියන දැවැන්ත පුළුල් යාන්ත්‍රණය දුවවන්න පුළුවන් ඒ මිනිස්සු දෙන්නට විතරයි.

රටේ මහා ව්‍යුහාත්මක වෙනසක් කරන්න කියලා ආපු මහා වීරයෝ කියපු අය අලුතෙන් ඇස් ඇරපු පූස් පැටව් වගේ ගමක් ගමක් ගානේ ගිහින් අහිංසක මිනිස්සු ඉස්සරහ අඬන ඇඬිල්ල දැක්කම හිතාගන්න පුළුවන්නෙ රටක් කරනව කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි කියලා.

දවසක මහින්ද සහ රනිල්ගෙන් පසුව මේ රටේ ඇතිවෙන දේශපාලන හිස්තැන පුරවන්න දැනට දේශපාලනයේ ඉන්න කිසිම මිනිහෙක්ට බැහැ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබට සුබ උපන්දිනක්..!!!

– නීතිවේදී ප්‍රමිත් ගනේආරච්චි


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *