පුංචි පුංචි සටහන්

Spread the love

විමලනාත් වීරරත්න

වේගයට ඇති ආශාව

‘‘ඒ බස් එක වේගයෙන් යන නිමා අපි හැමදාම යන්නේ ඒකෙ. ඒත් එදා නැවැත්තුවෙ නැහැ’’

පස්සර බස් රථ අනතුරෙන් පසුව එසේ කීවේ අයියා මලෝ දෙදෙනෙකි. ඔවුන් හැමදාම යන බස් රිය එදා කිසියම් හේතුවක් නිසා නතර නොකර ගිය අතර ඒ දෙදෙනාට පෙනි පෙනී බස් රිය ප‍්‍රපාතයට පෙරලූණි.

අනතුරින් පසුව හෙමින් යන්න තිබුණා කිව්වත් ඇත්තම කතාව වන්නේ මගීන් කොට කොටා යන බස්වල යාමට අකමැති වීමය. කොටන බස් වල මගීන් යන්නේ හිතින් ඩ‍්‍රයිවර්ට බනිමිනි. 99 බදුල්ල බස්රිය කොහොමටත් වේගයෙන් නොයා බැරිය. ඒ නිසා දුර ගමන් යන කවර රියදුරාත් අධික වේගයෙන් යයි. මගීනුත් බලාපොරොත්තු වන්නේ ඉක්මණින් ගමනාන්තයට යාමය.

වේගය දෙපාර්ශ්වයටම වුවමනා නිසා රියදුරන් සැලකිලිමත් විය යුත්තේ වේගයෙන් යා හැකි තැන්නේ වේගයෙන් යාමටත් වංගු හා පස්සර ගල පෙරළී තිබුණු ස්ථානය වැනි අනතුරුදායක මාර්ගවලදී අවධානයෙන් රිය පැදවීමටත්ය. අනතුරුදායක ස්ථාන වලදී සෙමින් රිය පැදවූවාට මගීහු උරණ නොවෙති. පස්සර අනතුර ඇසින් දුටු අයිය මලෝ කියන්නේද වේගයෙන් යන නිසා එම බස් රියේ යාමට කැමති බවය. ඒ අනුව බලන විට මගීන්ට ඇත්තේ රියදුරන් අනතුරුදායක රිය පැදවීමකට කැඳවන මානසිකත්වයකි. ඩ‍්‍රයිවර් ඉගිලෙන අතර මගීහු නින්දක් ගසති. අනතුරුව ඉක්මණින් ඇවිත් කියා තුටු වෙති. මගීන් කවර ආකල්පයක් දැරුවත් රියදුරන් වෘත්තියමය වශයෙන් වේගය හා අවධානය යන දෙකම සමබර කර ගැනීමට යත්ත දැරීම වැදගත්ය.

ගල්ලෙන බින්ද වජිර සහ සඳමාලි

පස්සර බස් රථ අනතුරින් කුඩා දරුවන් තිදෙනෙකුට දෙමාපියන් අහිමි විය. ඔවුහු අවුරුදු අටේ, පහේ, තුනේ වයස්වල දරුවෝය.

එම දරුවන් තිදෙනා ගැන සමාජ මාධ්‍යයේ පළවු පුවත දුටු දාට පසුදා ශ්‍රේෂ්ඨ මව්පිය දෙපළක් එම දරුවන්ගේ අනාගත වගකීම බාරගත් බව සමාජ මාධ්‍ය ඔස්සේම දැනගැනීමට ලැබුණි. ඔවුන් දෙදෙනා අම්පාර ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා සහ එම මහත්මිය වන තරංගා සඳමාලි වික‍්‍රමරත්නය. එම ශ්‍රේෂ්ඨ මැදිහත්වීමට පළමුව ඒ දෙපළට අප හිස නමා ආචාර කරමු.

සමාජයක් විදියට, පවුලක් මෙන්ම පුද්ගලයන් විදියටත් මිනිසුන් හුදෙකලා වී ඇති හා හුදෙකලා කැරෙන පරිසරයක් තුළ වජිර සහ සඳමාලි ඒ ශුෂ්ක ලෝකය වෙනස් කරන, ශුෂ්ක බිම්පෙතේ මල් පුබුදුවන මිනිසුන් ලෙස හඳුනාගත හැකිය. ඔවුන්ද දරුවන් සිටින දෙමාපියන් විය යුතුය. වර්තමාන සමාජය හැඩගැසී තිබෙන්නේ අනෙකා අතහැර තමන්ගේ ලෝකයක් හදනු පිණිස ශරීරය හා මනස මෙහෙයවීමටය. තමන් හදන ලෝකයට අන්‍යයන් ඇතුළු කර ගැනෙන්නේ නැත. එහෙත් මේ සොඳුරු දෙමාපියෝ ඒ දුර්වර්ණ තාප්පය බින්දෝය. නියම ගල්ලෙන බිඳීම් නම් ඒවාය. ඇත්තටම දැනුවත් ජනයාගේ වගකීම වන්නේ සමාජය සිරගතව සිටින අඳුරු ගල්ලෙන බිඳිමය. වජිර සහ සඳමාලි නම් වූ හෘදයාංගම මිනිසුනි, ඔබ දෙපළට ස්තුතියි.

වෙන්කත රංගමාල්, දේවානි සහ භාග්‍යා

ඔබ දන්නවාද ශ‍්‍රී වික‍්‍රම
නර නිඳුන්ගේ පේ‍්‍රමී
අපි යන්න ගියේ නෞකාවක
පිටුවහල්ව පාවී
මේ බිමට ආදරෙයි
වෙන්කත රංගමාල් දේවී

අධිනිශ්චය වු කාරණය වුයේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රටට ආදරය කළ බවය. එහෙත් රත්න ශ‍්‍රී විජේසිංහයෝ වෙන්කත රංගමාල් දේවියන් රජු සේම රටට ආදරය කළ බව ඇගේ ආත්මය පාරා කීමට උක්ත ගීතය රචනා කරති.

අප මෙතෙක් බලා සිටියේ දේශපාලකයන් රටට කරන තෙක්ය. ඒ කාටත් රටට ප‍්‍රතිපක්ෂ පුද්ගලික අපේක්ෂා තිබිණි. පුද්ගල අපේක්ෂාවලින් තොරව තමන් නිරත විෂයට ආදරය කරන්නන් කෙරෙහි අප සමාජයක් හැටියට අවධානය යොමු කරනවා අඩුය. පරිවාරයේ සිටින්නාගේ ආත්මීය ගැඹුර සෙවීම අපෙන් ගිලිහී ඇත.

රත්න ශ‍්‍රී කවියාට මම මාර්තු 24 දා දුරකථනයෙන් ඇමතුම් දෙකක් දුන්නත් ඔහු සම්බන්ධ කරගත නොහැකි විය. පසුදා දහවල් කතා කළ විට කීවේ ඊයේ තමා රක්වානේ ළමයා බැලීමට ගිය බවය. ඒ භාග්‍යා අබේරත්න බව මට සිහි විය. වෙන්කත රංගමාල් දේවිය ගැන රත්න ශ‍්‍රී අපට බලන්නට සැලැස්වු දෘෂ්ටිය භාග්‍යා, දේවානි වැනි අය වෙනුවෙන් ඉහළින්ම අදාළ කරගත හැකිය.

පරිසරය රැුක දෙන ලෙස අප ඉල්ලා සිටිය යුත්තේ ගෝඨාභයගෙන්ද, සජිත්ගෙන්ද, අනුර දිසානයකගෙන්ද ? මම හිතන හැටියට ඒ කාගෙන්වත් නොවේ. එය පොදු ජනයාගේ වැඩකි. රංගමාල් දේවිය රජුගේ බිසව වුවත් ජනතාව ඇය සැලකුවේ රාජ්‍ය කටයුතු වලින් විතැන්වය. එහෙත් ඒ ක්ෂුද්‍ර ලෝකයේ සිට ඇයත් රටට ආදරය කරන්නට ඇත. අප, අප නොසිතන මිනිසුන්ගේ ලෝකවලට එබී බැලිය යුත්තේ එනිසාය. අනපේක්ෂිත මිනිස්සු අලූත් ලෝක ඉදි කරති. බඬේ බිජු තියාගෙන ක‍්‍රියා කරන නායකයන්ට වඩා දේවානිලාගේ හා භාග්‍යාලාගේ ලෝකය තව එළි පෙහෙළි කරගත යුතු නැද්ද ? ඔවුන්ගේ ආදරය, අවංකභාවය හා මැදිහත්වීම රටේ දෙකෝටියම පිළිගත යුතු නැද්ද ?

ජීවිතේ අලූත් කවුළු පියන් පතක් විවර කළ යුතුව ඇත. ඒ අලූත් සුළඟක් හමා එනු පිණිසය. ඉඳින් අපි අලූත් හොරෙක් වෙනුවට අලූත් මිනිසෙක් සොයමු.

Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *