ප්‍රමිති ආයතනය වැඩ කරන්නෙ ජනතාව වෙනුවෙන්ද කොම්පැනි වෙනුවෙන්ද ?

Spread the love





ශරීරයට ඉතා අහිතකර පිළිකාකාරක සහිත පොල්තෙල් ආනයනය කර රටේ ජනතාව අතට පත් කිරීමට කටයුතු කිරීම හරහා ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය සේවය කරන්නේ රටේ පොදු ජනතාව වෙනුවෙන්ද එසේ නැතහොත් රටේ ජනතාව බිල්ලට දී මඩිය තර කර ගන්නා කොම්පැනිකාරයන් වෙනුවෙන්ද යන ප්‍රශ්නය විමසීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේ නැතහොත් ප්‍රමිති ආයතනය, රේගුව වැනි රටේ වගකිව යුතු ආයතන කාගේ හෝ බලපෑම්වලට යටත්ව කටයුතු කරන්නේද යන සැකය මතුවන බවද විපක්ෂ නායකයා පවසනවා.

 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ‍(29) බේරුවලදී පැවති ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවයේ 65 වැනි අදියරට සහභාගි වෙමිනි.

 

‘සීනි මගඩියෙන් අපේ රටට අහිමි වුණා කෝටි 1590 ක්. දැං පොල්තෙල් මගඩියෙන් අහිමි වෙන දේවල් මුදලින් තක්සේරු කරන්නට බැහැ. ඒවායින් අහිමි වෙන්නේ මිනිස් ජීවිත. දැන් අපිට දැන ගන්නට ලැබුණා මේ පිරිපහදු නොකරපු පොල්තෙල් ගෙන්වපු සමාගම් තුනෙන් එක සමාගමක පොල්තෙල් පලවෙනි වතාවටත් ෆේල් කියලා. දැන් දෙවැනි වතාවටත් ෆේල් වෙලා  තිබෙනවා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ ආහාරවල තිබෙන ගුණාත්මකභාවය පිළිබඳව පරීක්ෂණ කරලා මේවා ජනතා පරිහරණයට සුදුසුද නැද්ද කියන කාරණාව රටට හෙළිදරව් කිරීම පිළිබඳව. හැබැයි කණගාටුවෙන් හෝ කියන්නට ඕන ප්‍රමිතිකරණ ආයතනයේ මෙයට අදාළ නිලධාරීනුත්, රේගුවේ මෙයට ආදාල නිලධාරීනුත්, රට වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව, ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව, විවිධ බලපෑම් මත, විවිධ සමාගම්වල බලපෑම්වලට යටත් වෙලා. ඒ බලපෑම් වලට යටත් කරලා අද වනවිට පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොළට නිකුත් වෙලා හමාරයි.’

 

‘දැන් අපිට අහන්නට ලැබෙනවා වෙළඳ ඇමැතිතුමා විහිළු සපයනවා එතුමාගේ ප්‍රකාශවලින්. වෙළඳ ඇමති තුමා කියනවා ජනතාවට පොල්තෙල් පිළිබඳව හොයලා බලලා පරිහරණය කරන්නලු. මං අහනවා  මිත්‍රවරුනි 69 ලක්ෂයක්  ජනාධිපතිවරණයෙදි, 68 ලක්ෂයක් මහ මැතිවරණයේදී මේ ආණ්ඩුව පත් කරගන්නට කටයුතු කළේ ඔය වගේ උත්තර ලබා ගන්නද ?’

 

‘දැන් එක පැත්තකින් පොල්තෙල් මගඩිය නිසා රටේ ජනතාවගේ ජීවිත අනතුරේ. තවත් පැත්තකින් මොකක්ද කරන්නේ ? තවත් පැත්තකින් පරිසර හානිය. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පටන් අරන් තිබෙනවා අලුත් ව්‍යාපෘතියක්. කිරින්ද මාගම වැලිකන්ද ගවේෂණය කරලා වැලිකන්ද තමන්ගේ පාවිච්චියට වැලි කැනීමේ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්නට පිඹුරුපත් සකස් කරගෙන යනවා. කිරින්ද මාගම වැලිකන්ද තමයි ගම්මාන ගණනාවක් සුනාමියෙන් බේර ගත්තේ. සමහර ව්‍යාපාරිකයින් වැලි කඳු පාත් කරල තිබෙනවා. සුනාමියේදී ඒ අයගේ  නිවෙස් සහ හෝටල් සම්පූර්ණයෙන්ම විනාශ වුණා ජීවිතත් අහිමි වුණා. නමුත් ආණ්ඩුව සිංහරාජයෙන් පස්සේ, නකල්ස්වලින් පස්සේ ,ආනවිලුන්දාවෙන් පස්සේ මේ රටේ සංවේදී පරිසර කලාප ගණනාවක් විනාශ මුඛය කරා ගෙන ගිහිල්ලා. නිල්ගල රතුගල කැලෑව, සෝමාවතිය කැලෑව ඒ සංවේදී වනාන්තර විනාශ කරලා දැන් වැලිකන්දටත් තට්ටු කරන්නට මේ අය කටයුතු කරනවා.’

 

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: