නියමු ව්‍යාපෘතියේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ | රාවය

Spread the love

දිනී ජයසේකර

පවතින සමාජ ක‍්‍රමයේ, අනාගත පුරවැසියා බිහිවන්නේ කටපාඩම් අධ්‍යාපන ක‍්‍රමයකින් යන්න කාගේත් විවාදයට යොමු වූ සහ දෛනිකව යොමුවන මාතෘකාවකි. පාසල් ගුරුවරුන් දරුවන්ව පෙළපොතටම හුරු කිරීම, අදාළ විෂයන් අළලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකසන කඩඉම් ප‍්‍රශ්න පත‍්‍රද පාසල් පෙළපොත පාදක කර නිර්මාණය වීම, දරුවන් කටපාඩම් අධ්‍යාපනයකට යොමුවීම විශ්මයක් නොවන බව කිව යුතුය. එසේ පවත්වන පාසල් කඩඉම් විභාග හේතුවෙන් දරුවන් මානසිකව පීඩනයට ලක් වී ඔවුන්ගේ නව නිර්මාණ ශක්තිය හීන වී යාම ද අරුමයක් නොවේ. වත්මන් ආණ්ඩුවේ නියමු ව්‍යාපෘතිය යටතේ ගෙන එන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය ඊට පිළිතුරක් ලෙස ආදේශ කිරීමෙන් සිදුවන්නේ ද දරුවන් නැවත නැවතත් පීඩනයකට ලක්වීමට ඇති හැකියාව වැඩි බවය. ඊට දරුවන්ගේ පවුල් වටා ඇති ආර්ථික දුර්වලතාව තදින් බලපානු ඇතැයි අපට හැෙඟ්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 20, 21, 22 පිටු කිහිපයේ පාසල් අධ්‍යාපනයේ ප‍්‍රතිසංස්කරණ සඳහා වැඩි ඉඩක් වෙන් වී තිබුණද අවුරුදු පහෙන් පහට මාරුවන ආණ්ඩුවලට අවශ්‍ය පරිදි වෙනස් වන අධ්‍යාපන රටාවන්වලට දරුවන් වෙනස්වීම නිසා දරුවන්ගේ අනාගතය යම් අවිනිශ්චිතතාවක ඇති බව දෙමව්පියෝ පවසති. මන්ද ඊට ළඟම නිදසුන මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේදී ඇති වූ ගැටලූකාරී තත්ත්වයය. එය නිවැරදි කරගැනීමට අරගල කරන්නටද සිදු වූ බව අපි දනිමු.

දරුවන් පීඩාවට පත් කරන මාර්ගගත අධ්‍යාපනය

අප මීට මාස කිහිපයකට ඉහතදී මනෝ උපදේශිකාවක සමග මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධව කළ සාකච්ඡුාවකදී ඇය පැවසුවේ පාසල් දරුවන් එකවර මාර්ගගත අධ්‍යාපන රටාවකට හුරු කිරීමෙන් ඔවුන්ගේ දෛනිකත්වයට සිදුවන හානිය නිසා එය දරුවන්ට මානසික වශයෙන් විශාල බලපෑමක් ඇති කිරීමට ඇති ඉඩප‍්‍රස්ථාව වැඩි බවය. තවද ඈත පළාත්වල දරුවන් මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමට ඇති ආර්ථික අපහසුතාවන් නිසා පන්ති පරතරයේ අර්බුදයද නැවත ඇතිවීමට ඇති ඉඩ වැඩි බව ඇගේ අදහසය. එසේ නම් නව මොඩියුලය නිසාත් දරුවන් සේ ම දෙමාපියන්ද නැවත නැවතත් අර්බුදකාරී මානසික තත්ත්වයකට වර්තමානයේ මුහුණදීමට ඇති ඉඩකඩ වැඩි බව පැහැදිලිය. එනිසා ආණ්ඩුවක් විසින් ගන්නා ඒකායන තීරණ හේතුවෙන් රටේ ජනතාව අපහසුතාවට පත්වන්නේ නම් එය සාර්ථක අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් ලෙස දැකිය නොහැක.

නිදසුනක් ලෙස ආර්ථික ශක්තිමත් භාවයක් නොමැති පවුලක ශ්‍රේණි කිහිපයක දරුවන් සිටින්නේ නම් ඔවුන්ට අවශ්‍ය ස්මාට් ජංගම දුරකථන ලබාදීමේ අපහසුව දෙමාපියන් අත්විඳින බව අප කිව යුතුය. එවැනි වටපිටාවක නව ප‍්‍රතිසංස්කරණ සදහා යොමුවීම සුදුසුයැයි අප සිතන්නේ නැත. නමුත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය නොවන්නේ යැයි ඉන් නොකියැවේ. නිසැකවම නැවුම් ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. විසි වන සියවස පැමිණියද තවමත් අප දහනව වන සියවසේ අධ්‍යාපන ව්‍යාපෘතියක අනාගතය දකින බව නොරහසකි. එවැනි තත්ත්වයක විසිඑක්වන සියවසින් අනාගතය දකින දරුවන් බිහිවනවාට අප සියල්ලෝ කැමතිය. නමුත් ඊට පොදු ප‍්‍රතිපත්තියක් සහ ප‍්‍රතිපාදන සලසා එකිනෙකා බෙදා වෙන් නොකරන ප‍්‍රතිසංස්කරණයක් තිබිය යුතුය.

පෙළපොත හැලීම

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන නව ප‍්‍රතිසංස්කරණ අනුව දරුවන් මොඩියුලයක් යටතේ අධ්‍යාපනය හැදෑරීම කළ යුතුය යන්න අමාත්‍යාංශයේ අදහසය. එසේනම් පෙළපොතට සිදුවන්නේ කුමක් ද? නැවත පෙළපොත් මුද්‍රණය නොවී පවතින පෙළපොත් තොගය පුස්තකාල වෙත මුදා හැරීම අමාත්‍යාංශයේ අරමුණය. නමුත් පෙළපොතින් එකවර බැහැරවීම, අවස්ථාවට අනුව කළ හැකි දෙයක්ද යන්න ගැටලූවකි. මන්ද පළමු ශ්‍රේණියේ සිට දරුවන්ව පෙළපොතට හුරු කරති. එවැනි වටපිටාවක එකවර පෙළපොත පැත්තකට කරමින් නව මොඩියුලයකට හුරුවීම අපහසු බව අපට හැෙඟ්. තවද දරුවන්ගේ මානසිකත්වයටද එය ගැටලූසහගත තත්ත්වයක් විය හැක.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි මෙය හඳුන්වා දෙනු ලබන්නේ 2024 වසරේදීය. එසේ නම් උක්ත මොඩියුලය තවම පර්යේෂණ මට්ටමේවත් නොමැති වටපිටාවක එකවර දරුවන් මෙය ඉතා ඉක්මනින් තම ආශ‍්‍රයට ගෙන ඉදිරි අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යයි යන්නෙන් පවසන්නේ කුමන පදනමක සිටද යන්න පැහැදිලි නැත.

”කටපාඩමට තිත තබා කුසලතාවට අත දෙන ක‍්‍රමවේදයක් අපි ගේනවා” යන උද්ධෘතය සහිතව උගන්වනවා වෙනුවට ඉගෙන ගන්න දෙනවා, 2024න් පසුව ශිෂ්‍යත්වය මැරිලා යයි, ක්‍රෙඩිට් එක්ක පෙරට යන මොඩියුල් ක‍්‍රමවේදයක්, දක්ෂ නම් වසරකට කලින් සා/පෙළ ලියන්න පුළුවන් යන වචන කිහිපය භාවිත කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය නව ප‍්‍රතිසංස්කරණය හඳුන්වා දේ. ඉන් අධ්‍යාපනයට දුර්වල දරුවන් බෙදා වෙන් කර මරා දමන ශිෂ්‍යත්ව ක‍්‍රමය වැනි නව ශිෂ්‍යත්ව ක‍්‍රමයක් බිහි කිරීමට ඔවුන් ගන්නා යම් වෑයමක්ද යන්න සැකයක් ඇත.

පැනයන පිළිතුරු

ඕනෑම ප‍්‍රතිසංස්කරණයකටම පෙර අදාළ විෂය සම්බන්ධව පරීක්ෂණ වාර්තාවක් (research) ඉදිරිපත් කළ යුතු අතර නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය සදහා එසේ පරීක්ෂණ වාර්තාවක් සකස් කර නොමැත. එසේ පරීක්ෂණ වාර්තාවක් නොමැතිව නව ප‍්‍රතිසංස්කරණයකට යොමුවන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නයක් නොවේද? අමාත්‍යාංශ ලේකම් කළ අධ්‍යයනයන් ගැන පවසා ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බැව් කියන්නේය. එසේ නම් උක්ත කාරණාව විධිමත් නොමැති අතර රැුල්ලට යන මතවාදය නිසා ගෙන එන්නක් බව සිතේ. ලෝකයේ හොඳම අධ්‍යාපන ක‍්‍රමය ඇත්තේ ෆින්ලන්තයේය. ලංකාව තවමත් සිටින්නේ ඉතා සාම්ප‍්‍රදායික තැනක වන අතර වෙළෙඳපොළ රැුකියා අවශ්‍යතාවට සරිලන දරුවන් බිහි කිරීමටවත් පවතින අධ්‍යාපන රටාව අපොහොසත් වී ඇත. නමුත් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් වන නව ප‍්‍රතිසංස්කරණය ස්වයං අධ්‍යයනය කරා දරුවන් ඒකරාශී කර රැුකියා අවශ්‍යතාව පරිදි දරුවන් බිහි කිරීමට අරමුණක් ඇති බව ඔවුන් පසන්නේය. නමුත් ලෝකයේ සියල්ලෝ එක හා සමාන ධාරණය කරගැනීමේ ශක්තියක් නොවූවන්ය. දරුවන් අතර වෛරයක් ඇති කිරීමෙන් ඉතා ප‍්‍රචණ්ඩකාරී මානසික තත්ත්වයන් පෙන්නුම් කිරීමට ඇති හැකියාව වැඩිය.

ප‍්‍රායෝගිකව වෙන්නෙ කොහොමද

ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වන විට නව ප‍්‍රතිසංස්කරණ බොහොමයක් ඉදිරිපත් කරනමුත් ඒ කිසිවක් බිමේ ක‍්‍රියාත්මක වන්නේ කෙසේද, එවැනි ප‍්‍රතිසංස්කරණ ලංකාව වැනි රටකට ගැළපෙනවාද යන්නවත් හරි හැටි අවබෝධයක් නැත. උක්ත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ ක‍්‍රියාවලියෙදීද අපට පෙනෙන්නට ඇත්තේ මෙය ප‍්‍රායෝගිකව බිමේ ක‍්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අමාත්‍යාංශයටවත් අවබෝධයක් නැති වගය. මන්ද අපේ රටේ පවුලක දෛනික වැටුපෙන්, පවතින අධ්‍යාපන ක‍්‍රමයටවත් දරුවන්ව යොමු කිරීමට අපහසු පවුල් ඈත පළාත්වල සිටින්නේය. එසේ නම් නව ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට පෙර ඊට අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කිරීමේදී විශාල පිරිවැයක් දැරිය යුතුය. කෙසේවෙතත් ආණ්ඩුව එය දිගින් දිගටම සිදු කරයිද යන ප‍්‍රශ්නාර්ථය අවසානයේ ඉතිරි වන බව පැහැදිලිය.

අගලකඩ සිරිසුමන හිමි

ලංකාවේ නව අධ්‍යාපන ක‍්‍රමයක් පිළිබඳව කල්පනා කරන කොට ඒ සඳහා හොඳම මූලාශ‍්‍ර හොයාගෙන යන්න ඕනි බටහිර රටවල්වලට නොවේ. බටහිර අධ්‍යාපන සංකල්ප අපට හරියන් නැහැ. අපිට වැරදුණේ 1972 පස්සෙ බටහිර සංකල්පත් එක්ක ලංකාවේ අධ්‍යාපනය ගළපන්න යාමේදී අත් වූ ඛේදවාචකය තමයි අප නූතනයේදී විඳින්නේ. අපේ රටේ සම්භාව්‍ය අධ්‍යාපන ක‍්‍රමයක් තිබුණා. ඉතිහාසය ගත්තාම මහා විහාරය, අභයගිරිය ඒවායින් කරපු කාර්යභාර්ය අදටත් අපේ දෑස් ඉදිරිපිට තියෙනවා. ඒවා මහා ඥාන හදපු තැන්. නව දැනුම නිෂ්පාදනය කළ තැන් ඒවා. ඊටපස්සෙ පැමිණි ආක‍්‍රමණ නිසා ඒවා ටිකක් කඩා වැටුණා.

ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය ඉතා ප‍්‍රචලිතව තිබුණා. පිටරටවලින් පවා ශිෂ්‍යයො ආවා. නිදසුනක් ලෙස තොටගමුවේ විජයබා පිරිවෙන, කෑරගල පද්මාවතිය, සුනේත‍්‍රාදේවීය ඉතාම ඉහළ පෙළේ සිද්ධස්ථාන. මේවායෙන් ඉගෙනගත් දේවල් වලින් එදා මිනිස්සුන්ට අවශ්‍ය පෞරුෂ්‍යය, නව දැනුම, නිෂ්පාදන ඥානය, කෘෂිකර්මය කියන මේ සියල්ලම ලැබුණා. වර්තමානයේදී නව අධ්‍යාපන සංකල්ප හොයාගෙන යනව නම් ඇත්තටම ඒ සම්භාව්‍ය අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව යම්කිසි අධ්‍යනයකින් තොරව මාර්ගගත අධ්‍යාපනය හරි අපට මේ නොගැළපෙන යාන්ත‍්‍රික අධ්‍යාපන ක‍්‍රමය අපේ රටට මෙහෙවරක් සිදුවන්නේ නැහැ. අපට හොඳ පෞරුෂ්‍යයක් හදාගන්න බැහැ. මිනිස් මොළය කියන එක මනෝවිද්‍යඥයෝ කියනවා මිනිස් මොළය ප‍්‍රධාන වශයෙන් දෙයාකාර අරමුණු බිහි වෙනවා කියන එක. එකක් තමයි දැනුම. අනෙක තමයි වින්දනය කියන එක. මේ දැනුම සහ වින්දනය එක්ක සංකලනය වෙච්ච අධ්‍යාපන ක‍්‍රමයක් අපි හදාරන්න ඕනි මොලේ පෝෂණය කරන්න. දැන් මේ කරන්නෙ මොලේ සම්පූර්ණයෙන්ම යාන්ත‍්‍රීකරණය කරලා දැනුමෙන් පිරිපුන් කරන්නයි. මම හිතන්නෙ ඊට වඩා හොඳ නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් අපි සකසාගත යුතු වෙනවා.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්
සුනිල් ජයන්ත

අපි දැන් කතා කරන්නේ විසිඑක්වන සියවසේ අධ්‍යාපනය ගැනයි. එහිදී විසිඑක්වන සියවසට අවශ්‍ය දරුවන් හදන අධ්‍යාපන ක‍්‍රමයකුයි. දැනට අපේ තියෙන්නේ දහනව වන සියවසට ගැළපෙන අධ්‍යාපන ක‍්‍රමයකුයි. ඒකෙන් කරන්නේ කියවීම, ලිවීම සහ ගණන් හදන එක තමයි මූලික වශයෙන් කරන්නේ. තව පොත්වල දැනුම ඔළුවට දාලා ඒවා නැවත ලියවන අධ්‍යාපන ක‍්‍රමයක් තමයි තියෙන්නේ. ඒ අධ්‍යාපන ක‍්‍රමය විසිඑක්වන සියවසේ අභියෝගවලට ප‍්‍රමාණවත් නැහැ. විසිඑක්වන සියවසට අවශ්‍ය දරුවන් නිර්මාණශීලී විය යුතුයි. විචක්චණශීලී විය යුතුයි. සහයෝගයෙන් වැඩ කරන පුද්ගලයෙක් වෙන්න ඕනි. මනා ලෙස සන්නිවේදනය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි.

හැකියාව අතින් ගත්තාම විසිඑක්වන සියවසට අවශ්‍ය දරුවා තාක්ෂණික දැනුම එක්ක ගැටෙන්න අවශ්‍ය වෙනවා. තොරතුරක් ලැබුණාම එහි සත්‍ය අසත්‍යතාව පැහැදිලි කරගැනීමට හැකිවෙන්න ඕන. තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. තාක්ෂණය පිළිබඳව හැකියාව තියෙන්න ඕන. සමාජෙ එක්ක වැඩ කරන කොට නම්‍යශීලී විය යුතුයි. නායකත්ව හැකියාව තිබිය යුතුයි. ව්‍යාපෘතියක් දුන්නාම එය ආරම්භය වගේම අවසානය සාර්ථක කර ගැනීමේ හැකියාව යන මෙකී කරුණු සියල්ලගෙන්ම පිරිපුන් දරුවෙක් තමයි අනාගතයට අවශ්‍යය වන්නේ. මේ නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයේ මූලික අරමුණ තමයි උක්ත කරුණු ඇතුළුව දැනුමින්, සාරධර්ම අතින් පරිණත දරුවෙක් නිර්මාණය කිරීම.

Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *