චින්න චින්න ආසෛ 04 – ආනවිළුන්දාව අභය භූමියේ රොබින් හුඩ් සහ තවත් කතා

Spread the love





රොබින් හුඩ් කියන එංගලන්ත පුරාවෘත්ත වීරයාව, සිංහල උප සිරැසි පෙරටු කරගෙන ෂර්වුඩයේ සිට ලංකාවට එක්කන් ඇවිත් අපේ මනස් වනාන්තරයේ වනස්පතීන් අතර තබා ගියේ වෙනින් කවුරුත් නෙමෙයි ලෙනින් මොරායසුත් නෙමෙයි ටයිටස් තොටවත්ත මහත්තය. ටෙලිවිෂන් එකක් අසල්වැසි නිවසකින් හරි බලාගන්න වරම් තිබ්බ පරම්පරාවක්; රැයක් එළිවෙනකොට, අකීකරු කොණ්ඩය නළලෙන් දෙපැත්තට වැටෙන්න දාගත්ත රොබින් හුඩ්ව, ස්වකීය වීරයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම තියාගත්තා. ෂර්වුඩයේ අතිසුන්දර හොරකල්ලිය බවට පත්වෙන එක, ඒ කාලෙ හැම ළමා රංචුවකම මුරණ්ඩු ආශාව බවට පත්වුණා. අයස්කාන්ත මයිකල් ප්‍රේඩ්ගේ රුව, අපේ ආත්මවලට කිඳා බැස්සා.

ඔය දැන් ආනවිළුන්දාව අභය භූමිය – රැම්සා තෙත් බිම කියල නම් කරල තියෙන භූමි ප්‍රදේශය, එහෙම නම් කරන්න කාලෙකට කලින් ඒ පැත්තෙ ජීවත් වෙච්ච ළමා කැලතකට ෂර්වුඩයක් බවට පත්වෙනකොට, “ළමයිනේ ඔය වැව් කැලේ කරක් ගහන්නෙ පරෙස්සමෙන්.. ඔව්වයෙ සත්තු සර්පයො ඕසෙට. මෙන්න මේ ගෙදරට වෙලා හිටපල්ලා..!“ කියල අම්මල තාත්තල කෑ ගැහුවා. ෂෙරිෆ්ලගෙ ගිස්බන්ලගෙ රාජ්‍ය බලයේ අණටත් කීකරු නොවෙන රොබින් හුඩ්ලා, ගල්නර් වගේ වියරු මායාකාරයන්ගේ මායා බලයටවත් කීකරු කරගන්න බැරිවුණු රොබින් හුඩ්ලා, එහෙම කෑගහල නවත්තන්න බැරි බව අම්මල තාත්තල ඉක්මනින් දැනගත්තා. ගෙවල් හය හතක ළමයි වැව් කැලේ දෙවනත් කෙරුවා.

දෙමට ලී වලින් දුනු ලී හැදුණා. කයිල කෝටුවලින් ඊතල හැදුණා. බයිසිකල් ටියුබ්වලින් දුනු දිය හැදුණා. අපිට රොබින් හුඩ් උමතුව හැදුණා. “තොපිට පිස්සුද“ කියල බැනල බැනලම දෙමව්පියන්ට හිසරදය හැදුණා. ඒ බැනුම් නොතකා අපි කැලෑ වැදුණා. වදින්න කියල හිතාගෙන නොවිද්දත් ඇතැම් දවසක ඇතැම් ඊතලයක් කාටහරි වැදුණා. වැදුණ වෙලාවට රිදුණා. ඒත් එසැණින් සමගිය හැදුණා. පිරිමි ළමයි රොබින් හුඩ්ලා වෙනකොට ඉඳහිට රංචුවක හිටපු ගැහැණු ළමයෙක් `මැරියන්` කෙනෙක් වෙලා හරි හරියට සටන් වැදුණා. ඒ අතරවාරේ දේදුණු ඇස්වලින් හදවත්වලටත් ඊතල වැදුණා. ජීවිතේ මිහිරිතම රිදුමක් රිදුණා. සමහර රොබින්හුඩ්ලා තමන්ට මුළු හදින් පෙම් කළා කියල ඒ මැරියන්ලා අදටත් දන්නෙ නැති බව මෙතැනම ලියා තබන්න හිතුණා.

කොහොම වුණත්, පොහොසතුන්ගෙන් සම්පත් උදුරාගෙන දුප්පතුන්ට බෙදා දුන්න රොබින් හුඩ්, එංගලන්තෙ මහරජතුමාගේ අණට අවනත වෙච්ච කීකරු ක්‍රිස්තියානියෙක් කියල නේද කියල තෙවැනි කියවීමකින් රොබින් හුඩ් කතා මාලාව හෝ පුරාවෘත්තය දිහා බලන්න දැන් පුළුවන්. අනභිවභවනීය යැයි ඔසවා තැබූ වීරයන්ට පවා තමන්ගේම වූ සීමාවන් තිබුණ නේද කියල අධ්‍යයනය කරන එක වටින්නේ ළමයින්ට නෙමෙයි වැඩිහිටියන්ට. නිකම් වැඩිහිටියන්ට නෙමෙයි, සමාජ සාධාරණත්වය වෙනුවෙන් එක එක විදිහට නෙක නෙක සටන් කරන දැනුවත් වැඩිහිටියන්ට. රොබින් හුඩ් – සරදියෙල් කතන්දර ලස්සනයි. ඒ කතන්දරවලින් පාඩම් ඉගෙන ගන්නවා නම් ඊටත් වඩා ලස්සනයි.

රොබින් හුඩ් කතාමාලාව විකාශය වෙන්නෙ අසූව දශකයේ. “රොබින් හුඩ් වගේ ලක්දිව පතල උන නමයි.. උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි.. තරුණ පිරිස මේ මගෙ නම රකින අය තමයි.. කඳුරට මැද්දේ රජ උන සිංහයා මමයි..“ කියල එච්.ආර්. ජෝතිපාල ගයන්නේ හැටේ දශකයේ. පොහොසතුන්ට පමණක් සීමා වූ සම්පත් දුප්පතුන්ටත් දීපල්ලා කියල `තරුණ පිරිස` පාලකයන්ට මුලින්ම අභියෝග කරන්නෙ ඒ දශක දෙක මැද හැත්තෑව දශකයේ. ඒ සටනටත් දැන් අඩ සියවසක්. සටනක් හරියට කියවගන්න එක, අඩ සියවසක් ජීවත්වෙනවටත් වඩා බර අදහස් සටනක්. මෙවැනි කුඩා සටනහනකින් ඒකට දෙන්න පුළුවන් පොඩි ඉඟියක් – ගන්න පුළුවන් පොඩි ප්‍රවේශයක්.

“සිංහල හාලේ බත කා වැඩුණු මේ ඇඟේ“ කියලයි සරදියෙල් ගැන කියැවෙන ජෝතිගෙ සින්දුවෙ තියෙන්නෙ. ඒක හාලක නමක් වුණාට පසුකාලීන අරගල දිහා බැලුවම දේශපාලන සංකේතයක්. අපි බලපු කතාමාලාවේ රොබින් හුඩ්ගෙ කල්ලියෙ හිටියෙ එංගලන්තකාරයෝ විතරක් නෙමෙයි. නසියර් වගේ මුසල්මානුවොත් ඒ අතිසුන්දර හොරකල්ලියෙ හිටියා. සරදියෙල්ගෙ හොඳම යාළුවා මම්මලේ මරික්කාර්.  සටන් කරන තරම්ම අනුරාගයකින් රොබින් මැරියන්ට පෙම් කළා. සරදියෙල්ගේ පෙම්වතිය තංගම්මා. ඔව්.. සිංහල හාලේ බත කෑවට සරදියෙල් පෙම් කළේ දෙමළ තංගම්මට. ඉතින් මේ ඔක්කොම ඉතිහාස කතන්දර – ජනප්‍රවාද එහෙම තියෙද්දි, ආදරයයි ජනවර්ග විවිධත්වයයි මගහරින්නෙ නැති අලුත් සහ  ලස්සන අදහස් අරගලයක් පටන් ගන්න අපට බැහැයි කියලද ඔබ තවමත් හිතන්නෙ ?

විමල් කැටිපෙආරච්චි

චින්න චින ආසෛ 03


THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *