චින්න චින්න ආසෛ 03 – වර්ෂා ප්‍රහර්ෂයක ස්මරණ ස්පර්ශය

Spread the love





අගනුවර තදාසන්න අහස, කළු අළු සළු පෙරවගෙන – මහපොළොවට ඔරවගෙන – හෙමි හෙමිහිට ගොරවගෙන – හැන්දෑ වැස්සකට ලක ලැහැස්ති වෙනකොට,  චින්න චින්න ආසෛ තීරුව දිගේ අතීතයට යන මතකය එක එක විදිහෙ වැහි ගොඩකට තෙමෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඇතැම් වැහි මතක අකුරු හැටියට පොදගහන්න පටන් ගන්නවා.

ඉන් එක මතකයක.. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ රේල් පීලි දවල් කාලේ රත්වෙලා ගිනියම් වෙලා තිබිලා හවස් වැහිවලට එකපාර තෙමෙනකොට, අඟුලාන ලුණු හුළඟ මැද හුමාලෙ පිටකරන්නෙ හරියට දැවීමත් නිවීමත් අතර අසූව දශකයේ සාංකාව පිටකරනව වගේ කියල දැන් හිතෙනවා. එකමත් එක කුලී නිවෙසක ඇනෙක්සියක ජීවත්වෙන පවුලක ළමයෙක් වැස්ස දිහා අරුමයෙන් බලාගෙන ඉන්නව.

පිටරට ඇන්ජින්වලින් ඇදගෙන ගිය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙ ලී කෝච්චි පෙට්ටි වැස්සට පෙඟෙනකොට, බාගෙට වැහිච්ච ජනෙල් අස්සෙන් ආව වැහිපොදෙන් ල.දු.දෙ. කියල ගහපු කෝච්චි සීට් තෙමෙන්න ඇති.  හිටගෙන යන්න අකමැති මිනිස්සු ලදදෙයින් සතුටුවෙලා ලදුදෙයින් බාගෙක හරි ‘පොඩ්ඩක් මෙහාට වෙලා’ ඉඳගන්න ඇති. අර ළමයා දැන් එහෙම හිතනවා.

තවත් වැහි මතකයක.. වැවට වතුර එනවා. යාළුවෙක් ඇවිත් පණිවිඩයක් කියනව. බහින්නෑ එලියට ! ගෙදරින් අණ පැනවෙනවා. යාන්තං වැස්ස තුරල් වෙනකං ඉඳල, බයිසිකලෙත් අරගෙන ඉලන්දාරියෙක් ගෙදරින් පැනගන්නව. ගුරු පාර චිරි චිරි මඩ පාරක් වුණාට ඒ මඩට බයිසිකල් ඔරොත්තු දෙනවා. ඒත් මඩ්ගාඩ් එක්ක අනවරත අරගල කරන මඩපාර, සෙරෙප්පු පටිත් එක්කම උඩු පතුල්වලට රටා ඉහිනව.  

මයියාව – ආනවිලුන්දාව – සුරුවිල තුන් ඈඳුතු වැව් බැමි දිගේ තෙමි තෙමී යන බයිසිකල් පේළිය සොරොව්වක් ළඟ, බෝක්කුවක් ළඟ, ඔය කොහෙහරි තැනක නතර වෙනවා.  කයිවාරු අන්දර – පෙම් කතන්දර  – බොරු පට්ටන්දර අරව මේව මැද ඉල කැඩෙනවා, බොහෝ විට. සැලසුම් හැදෙනවා කඩුවක් හරි පත්තක් හරි හොයාගෙන පැට්‍රොල් මැක්ස් එකකුත් පත්තු කරගෙන මාළු කොටන්න යන්න, ඇතැම්විට.

එකමත් වැහි මතකයක.. දම්පාට ගවුමක් ඇඳගත්ත ගෑනු ළමයෙක් එක්ක දම්පාට ඉරි තියෙන අත්දිග ෂර්ට් එකක් – කළු කලිසමක් ඇඳගත්ත පිරිමි ළමයෙක් මාරවිල කුරුස පල්ලිය පාරේ, අනෝරා වැස්සකට ඔරොත්තු නොදෙන දම්පාට පුංචි මල් කුඩයක් යට කිටි කිටියේ තුරුල් වෙලා ඇවිදින්නෙ හිටි හැටියෙ වැටිච්ච වැස්සට බොරුවට සාප කර කර – හිත යටින් ස්තූති කර කර.

ඊටත් කාලෙකට පස්සෙ `වරුසාවේ වළාකුල් සලාලා – වරු ගාණක් වැටීයන් හඬාලා – සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ – පිළිසඳරේ නිමා නෑ  අපේ` කියල කීර්ති පැස්කුවල් ගයනව ඇහෙනකොට ඈත මෑත වැහිබින්දු යාවෙලා අතීතේ ඉඳන් වර්තමානය හරහා අනාගතේ දිහාට නාඳුනන පාරවල් දිගේ ගලාගෙන යනවා.  ආදරයයි කැස්සයි අතර නෙමේ ප්‍රේම සම්බන්ධෙ තියෙන්නෙ, ආදරයයි වැස්සයි අතර.

වැස්ස මහ පුදුම දෙයක්. ඒක හරියට, ඒ මොහොතේ අප මුහුණ දෙමින් සිටින අනේකවිධ අතෝරයන් පිරි එදිනෙදා සංසාරයෙන් මඳකට අපව ඈත් කරන ස්වර්ගයෙන් වට නිර්වාණ සළුවක් වගේ. සන්තාප සංවේදනාවන් සෝදා හරින්න වැස්සට පුළුවන්. වැස්සට කලිනුත්, වැස්සත්, වැස්සෙන් පස්සෙත් ලස්සනයි. නැවතිලා ආපහු හැරෙන්න පොළඹවන බියර්මය සිහිලසක් වැස්ස අපට ප්‍රදානය කරනවා. අව්ව විධානයක්. වැස්ස ප්‍රදානයක්.

අප දුටු සිනමා පට බොහෝ ගණනක වහිනවා. මනිරත්නම් වැස්ස එක්ක ඉතා ළෙන්ගතුයි. ලංකාවේ ගත්තොත් උදයකාන්තගෙ චිත්‍රපටි අතර වැස්සක් නැති එකක් නැති තරම්. දෙස් විදෙස් සිනමාපට ගණනක ඇදහැලුණු නෙක නෙක වැසි අතර අමතක කරන්නම බැරි එක වැස්සක් මේ ලියුම්කරුගේ මතකයේ ඈත තැනක තාම වහිනවා. ඒ ‘The Shawshank Redemption’ හි අග වැටෙන මහ වැස්ස.

සිය බිරිඳගේ ඝාතකයා ලෙස නොකළ වරදකට සිරදඬුවම් වින්ද ශූර බැංකුකරුවා, සිය බුද්ධියෙන් බිඳ දැමූ සිපිරිගෙයින් මිදී මළ නළයක් දිගේ ගොස් ගඟකට වැටෙනවා. ඔහු නිදහසේ සුළඟ විඳින්නට පටන් ගන්නා ඒ රාත්‍රී සීතලේ ඇදවැටෙන අනෝරා වැස්ස තරම් මිනිස් නිදහස සංකේතවත් කරන සිනමා වැස්සක් තව කොයින්ද ? දෑත් දෙපසට විහිදුවමින් වර්ෂාව වැළඳගන්නා ඇන්ඩි ඩුෆ්රේන්, නිදහසේ තෙමෙන්නට හරින්නේ ඔබේත් මගේත් අධ්‍යාත්මයයි.

මේ නියං සමය දැන් ඇති.  කතාකරන්න ඔබ තුළ සිටින ඇන්ඩි ඩුෆ්රේන්ට. මේ සිපිරිගෙයි ප්‍රාකාරයේ පුංචි ගල් කැටයෙන් ගල් කැටය ඉවත්කරන්නට පටන් ගනිමු. ස්ථිර ලෙසම මළ නළය අපටත් හමුවේවි. හැබැයි මතක තියාගන්න එහි කෙළවර ගඟ. ගඟ දිගේ ඉහළට ටිකක් දුර යනකොට වැටෙනවා නියතයි වැස්ස. දෑත් දිග හැර නිදහසේ හුස්ම ගමු අන්න එතකොට !

විමල් කැටිපෙආරච්චි

චින්න චින්න ආසෛ 02


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *