කැබිනට් ඇමති රාජ්‍ය ඇමැති කඹ ඇදිල්ලත්, අපූරු මිලිටරි කාරයාත් නිසා නරා වලට වැටුනු ‘නාරා’..!

Spread the love

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි “නාරා” ආයතනය කොළඹ 15, කාක දූපතේ ස්ථාපිත වෙන්නේ 1981 අංක 54 දරන පාර්ලිමේන්තු පනතෙන්. එවකට ජේ.ආර්. රජයේ පවුලේ ඥාතියෙක් වගේම සාගර විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වන ආචාර්ය හිරාන් ජයවර්ධන මහතාගේ අදහස් අනුව ස්ථාපිත වූ මේ ආයතනය ස්ථාපිත පනත, දේශපාලන ඇඟිලි ගැසීම් සඳහාම ඉඩ හසර විවර කර දෙන පනතක් ලෙස අදටත් පවතින්නක්. ලංකාවේ පවතින බොහොමයක් සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතන සියල්ලගේම පාහේ සභාපති තනතුර කෙලින්ම ඇමතිවරයා පත් කළ ද, අධ්‍යක්ෂක ජනරාල් තනතුර සඳහා වන සුදුසුකම් ආයතනයේ පනතේම හෝ බඳවා ගැනීමේ පරිපාටියේම සඳහන් වෙනවා. නමුත් මේ අරුම පුදුම “නාරා” ආයතනයේ කාර්යාල කාර්ය සහයකයාට පවා බඳවා ගැනීමේ අවම සුදුසු කම් දක්වා ඇතත්, අධ්‍යක්ෂක ජනරාල් තනතුර සඳහා කිසිදු සුදුසුකමක් සඳහන්ව නැහැ. එනිසා එන එන ඇමතිවරු මේ තනතුරට තමන්ගේ දේශපාලන හෙන්චයියන් පත් කර ගන්නවා. එනිසා මේ කීර්තිමත් සාගර හා ජලජ විද්‍යා ආයතනයේ ඉතිහාසය තුළ, බැංකු ලිපිකරුවන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, ගබඩා ලිපිකරුවන්, සහ කිසිම රැකියාවක් නොකර ඇමතිගේ චන්ද කැම්පේන් කළ එවුන් පවා ප්‍රධාන තනතුරට පසු ගිය කාලයේම පත් වුනා. විදෙස් ආයතන සමග බොහෝ ගනු දෙනු කරන මේ ආයතනයේ පත් කළ නොයෙක් එවැනි අධ්‍යක්ෂක ජනරාල් වරුන්, සුද්දෙක් එන කොට “මම නැහැ කියන්න” කියමින්, රැස්වීම් වලින් පැන ගිය අවස්ථා සහ එමගින් ආයතනයට, නමට සහ රටට වූ හානි ද බොහෝමයි.

විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන අය ගෙනත්..

වෙනදා බොහෝ විට මේ තනතුරු දෙකම පත් කරන්නේ එකම ඇමති නිසා ඔවුන් අතර ගැටුම අවම වෙලා තිබුණා. එනිසා උන්ගේ පාඩුවේ උන් ගසා කද්දි, ආයතනය පැවැත්මට කර දෙන නිළධාරි සුලුතරයකින් හෝ යම පමණකට පැවතුනා. නමුත් අද සිදු වන්නේ කුමක්ද? අද දෙපැත්ත ගහ ගනිමින් නාරා ආයතනය “නරා වලක්” බවට පත් වෙමින් තියෙනවා. සභාපතිවරයා පත්කරලා තියෙන්නේ කැබිනට් ඇමති, ඩග්ලස් දේවානන්ද මහතා. පත්කළ ඒ.නවරත්නරාජා සභාපතිවරයාගේ සුදුසුකම් ගැන කිසිදු ගැටළුවක් නැතත්, ඔහුගේ කායික සහ මානසික යෝග්‍යතාව ඒ තනතුරට සුදුසු නැහැ. ඔහු යාපනය විශ්ව විද්‍යාලයෙන් කලකට පෙර විශ්‍රාම ගිය මහාචාර්යවරයෙක්. ඔවුන් දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන. ඒක ඔවුන්ට ගෞරවයක්. දැන් ඔහුව මෙහෙම තැනකට ගෙනල්ලා කරන්නේ ඔහුටත් අගෞරවයක්. පුටුවෙන් නැගිට්ටවන්න, වාහනයෙන් බස්සවන්න කෙනෙක් ඕන. අපිට අහන්න තියෙන්නේ, කායික හා මානසික සුදුසුකම් සහිත කවුරුවත් ඩග්ලස් ඇමතිවරයාට හෝ “වියත්මග”ට නැද්ද කියලා.

අධ්‍යක්ෂක ජනරාල් ලෙස මෙවර කාංචන විජේසේකර මහතා පත් කරලා තියෙන්නේ ආයතනයේම හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙක්. නම එච්.එම්.පී. කිත්සිරි. පසු ගිය පත්කිරීම් එක්ක බැලුවම එහි යම් සාධනීය බවක් තියෙනවා. අවම වශයෙන් “යන්නේ කොහෙද?” ඇහුවම “මල්ලේ පොල්” කියන්න හෝ අවබෝධයක් ඔහු සතුව තියෙන නිසා. නමුත් මේ තනතුරු දෙකේ ගැටුම නිසා ආයතනය අහිමි වෙන දෑ, ආයතනය හැර යන පිරිස් බොහොමයි. 

නියම භාණ්ඩේ, තකට තක…

ඒ වගේම තමයි මේ ආයතයට මිලිටරියෙන් පත් කරලා ඉන්න පරිපාලන අධ්‍යක්ෂකවරයා. නියම භාණ්ඩේ, තකට තක. ආයතනයේ බඳවා ගැනීම් පටිපාටිය අනුව ඔහුට එම තනතුරට අදාල කිසිදු මූලික සුදුසුකමක් නැහැ. මේ ගැන විමසූ අයට ඔහු දීලා තියෙන්නේ අපූරු පිළිතුරක්. “ඔය අනෙක් උඩ තනතුරු වල ඉන්න ගොඩක් අයටත් ඒව නැහැ. එනිසා මගේ කොලිෆිකේශන් සොයන්න ආවොත්, අනෙක් අයගේ සම්බුව මම අදිනවා මුල ඉඳලා.” ඒ මිලිටරි තගට බය නිසා දැන් හැමෝම සද්ද වහලා මී පැටව් වෙලා.

ලංකාවේ භූමියට වඩා අති විශාල මුහුදක් තියෙද්දි, ලෝකයම “නිල් ආර්ථිකයක්” ගැන කතා කරද්දි, මේ මහා සමුදුර  සහ ජලජ සම්පත් ගැන පර්යේෂණ කරන්න තියෙන ප්‍රධානම බලය හිමි පර්යේෂණ ආයතනය වන “නාරා” ආයතනය වල පල්ලට ගෙන යන මේ දේශපාලන හා නිළධාරී පැලැන්තිය අහිමි කරන්නේ මේ රටේ දුවා දරුවන්ගේ හෙට දවස මිස වෙන කිසිවක් නොවෙයි. සිස්ටම් චේන්ජ් කරන්න ආ විරුවාගේ මේ වැඩෙත් අනික් වැඩ වගේම තමයි..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *