ඇස් වහ කට වහ

Spread the love





මේ ලගදි ෆේස් බුක් එකේ හරි අපූරු සංවාදයක් ගියා. ඒකෙ මාතෘකාව ඇස්වහ කටවහ කියන එව්ව ඇත්තද කියන එක. ඔය කතා කියවන කොට මං හිත හිතා හිටියෙ කාළි මෑණියෝ ගැන. කාළි මෑණියන් කියන්නෙ අසරණයන්ට පිහිට වෙන බව කියන හිංදු දේවතාවියක්. බෞද්ධ සාහිත්‍යයෙත් කාළි යකින්න කියල කෙනෙක් ගැන කතා වෙනව තමයි. හැබැයි මෙතෙන්ට අදාල වෙන්නෙ අර හිංදු දේවතාවිය. මේ දවස් වල ලංකාවෙ කෙනෙක් නං කාළි ගැන අහල තියෙන්ඩම ඕන. ඒ අපේ ධම්මික වෙද මහත්තයගෙ කොවිඩ් පැණියත් එක්ක.

ඇත්තටම ධම්මික මහත්තයා කලේ බොරුවක්ද? නැත්තං දැනුම ජනනය කරන්ඩ අපි හිතන විදි වලට වඩා වෙනස් විදි තියෙනවද? අපි හිතන්නේ පරීක්ෂණයක් කරල, නිරීක්ෂණ දිහා බලල, නිගමන වලට එන්ඩ ඕන කියලනේ. ඒ අපිට උගන්නපු විදිහ. ඊට වඩා විකල්ප විධි තියෙන්ඩ බැරිද? උදාහරණයක් විදිහට යමෙකුට හිතල හිතල අලුත් දැනුමක් උත්පාදනය කරන්ඩ බැරිද? එහෙම බැහැයි කියනවානම් බුදු හාමුදුරුවෝ බුද්ධත්වය ලැබුවේ කොහොමද? ඊලගට මෙහෙම උනොත් මෙහෙම වෙනවා, අරහෙම උනොත් එහෙම වෙනවා කියල තර් කයෙන් දැනුම ගොඩ නගන්ඩ බැරිද? ඊටත් වඩා එහාට ගිහිං අධි මානුශික බලවේග වලින් දැනුම ලබා ගැනීම කල හැකි දෙයක්ද නැත්ද? එහෙම බැරිනම් ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේ ආගම්වල ආරම්භය ගැන තියෙන ප්‍රවාද අපි ප්‍රතික්ශේප කල යුතුද? ඔන්න ඔය වගේ බරසාර ප්‍රශ්න ගැන තමයි ලොකු මල්ලි කල්පනා කර කර ඉන්නෙ. ඇත්තටම මේ කාලෙ තියෙන  සීතලත් එක්ක මගේ යාලුවෙක් මොණරාගලින් එනකොට ගෙනත් දීපු අර කොල ටික දුමක් විදිහට උරපුවම ඔය වගේ දේවල් හිතෙන එක පුදුමයකුත් නෙවෙයි එක අතකට.

සාමාන්‍ය විද්‍යාවට අහුවෙන්නෙ නැති එහෙම නැත්තං මිනිස්සු අතරෙ බොහොම ප්‍රසිද්ධ උනාට නලින් ද සිල්වා මහත්තයා කියන විදිහට බටහිර විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නන්ඩ බැරි දෙයක් තව දෙයක් තමයි ඇස් වහ කට වහ කියන්නෙ. කෙනෙක්ගෙ බැල්ම නැත්තං කියමනක් තව කෙනෙකුට හොදක් හෝ නරකක් ඇති වෙන්ඩ හේතු වෙනවද? අපේ ගමේ කට්ටියනං මේ වගේ වෙලවට කියන්නෙ…ආයෙ මොනවද අහලා…බඩේ බඩ්ඩිංග වගේ තමයි ඕං කියල. අපේ ගමේ උනා කියන- සමහර දේවල් මාත් මගේ ඇස් දෙකින්ම දැකලා තියෙන- සිද්දි අනුව එහෙම විශ්වාස නොකරත් බෑ. අද මම කට්ටකාඩුවට ල්‍යන්ඩ හිතුවේ අපේ ගමේ ඇස්වහ කටවහ කාරයෝ ගැන.

සාමාන්‍යයෙන් අපේ ගමේ තියෙන පිළිගැනීම පැගිරි කුලයේ ගස් වලට ගෙඩි වලට ඇස් වහ කැපෙනවා කියල. ඒකනෙව දෙහිගෙඩි දෙකතුනක් වෙදමහත්ත්‍යට කියල මතුරවල කප්පවන්නෙ ඇස් වහ, කට වහ යන්ඩ කියල. පුහුල්ගෙඩියක් ගෙදරක් ඉස්සරහ එල්ලන්නෙත් ඒ ගෙදර සාර සුභාව දකින මිනිස්සුන්ගෙන් එල්ල වෙන්ඩ පුලුවන් ඇස්වහ වලින් ගෙදර ආරස්සා කරන්ඩ පුලුවං හැකියාවක් පුහුල් ගෙඩ්ඩට තියෙනවා කියල හිතන හිංදා.

අපේ ගමේ ඉන්න තුම්පනේ ගෙදර බිසෝමැනිකේ නැන්දා කටවහ ගැන ප්‍රසිද්ධ කෙනෙක්. උන්දැගෙන් යමක් හොදයි කියල කිය උනොත් ඒකට කූරියා වදිනවා කියල නොදන්න කෙනෙක් නෑ. ගොල්ලෙ හෙනෙ ගෙදර එක කාලෙක සාර සුභාවට පුහුල් වැලක් හැදිලා තිබ්බා.මේ වැලේ කොච්චර පුහුල් ගෙඩි සාර සුභාවට හැදිල තිබ්බද කියනවා නං ගොල්ලෙ හේන් ගෙදර අත්තා පුහුල් වැල යන්ඩ හොද හයිය හත්තිය තියෙන මැස්සකුත් හදල තිබ්බා. එක දවසක් අත්තට කල්පනාවක් ආවා මේ වැලේ ගෙඩි එන්ඩ එන්ඩම බර වෙනවා ඒ හිංදා මැස්සේ හයිය වැඩි වෙන්ඩ තව ලී කෝටු ටිකක් හිටවන්ඩ ඕන කියල. ඔන්න අත්තා කෝටු ටික හිටව හිටව ඉන්න කොට තුම්පනේ ගෙදර නැන්දා එතනින් නාන්ඩ යනවලු ලිදට…

ආ අයියෙ..පුහුල් වැලට මැස්සක් ගහනවද?

ඔව් නංගියා මං මේ පුහුල් වැලට ගහපු මැස්ස හයිය මදි වෙයි කියල තව කෝටු ටිකක් ගහනවා…

අනේ අයියගෙ අත් ගුණේ හිංද වෙන්ඩ ඕන මේ පුහුල් වැල අපූරුවට පල දරල තියෙන්නෙ!

බිසෝ නැන්දගෙ කටේ තියෙන හයිය ගැන අත්තට ඩිග් ගාල මතක් උනා. මේ වගේ වෙලාවක කරන්ඩ ඕන පුලුවං තරං ඉක්මනට තුම්පාරක් කෙල ගහන එක තු: තු: තු: කියල. ඒත් ඉතිං නැන්ද ඉන්න තැනම කෙල ගහන්ඩ පුලුවනෑ මූණ බලාගෙන. ඉතිං කටවහේ සැර අඩුවෙන්ඩ කියල හිතාගෙන අත්තා මෙහෙම කිව්වා.

අනේ බිසෝ මගේ වැල දිහා බලා ගෙන ඉන්නෙ උඹත් පුහුල් වැලක් හදා ගනිංකො. මාත් මේ ගෙඩි පැහුනම උඹට ගෙඩියක් දෙන්නංකො ඈ කියල.

අනේ හොදයි අයියෙ. මාත් කාලෙකින් පුහුල් මාලුවක් (අපේ පැත්තෙ කොයි වියන්ජනෙත් මාලුවක්. ගගේ මූදෙ පීනන මාලු අල්ලලා උයන්නෙ අළුත් මාළු. ඔය සිංහල අකුරු දෙකේ වෙනසේ රහස නොදන්න එක එකා අපිට විහිලු කරනවා උඹලැ පැත්තෙ බෝංචිත් මාලුවක් කියල)කෑවෙ නැති එකේ අයියගෙ වැලෙන්වත් පුහුලක් දෙන්ඩකෝ.

එහෙම කියල බිසෝ නැන්ද නාන්ඩ ලිඳ ලගට ගියා. නැන්ද ටිකක් දුරට යනකල් ඉදල ගොල්ලෙ හේනෙ අත්තා තුන් පාටක් කෙල ගැහුවා අර මං ඉස්සෙල්ල කියපු විදිහට. පුහුල් මැස්සේ හයිය තව ටික වැඩි වෙන්ඩ තව අඩිපුර කෝටු කීපයක් හිටවපු මාමා ගෙදර ගියා විතරයි දඩාස් ගාල සද්දයක් ඇහුනා.

අත්තට තේරුනා මොකද්ද වෙන්ඩ ඇත්තෙ කියල. උන්දැගෙ රතු කට්ට පන්නා. ගත්තා කැත්ත අතට. අරගෙන අඩියට දෙකට දිව්වා පුහුල් වැල ගාවට. අත්තා හිතුව හරි. පුහුල් මැස්ස බිම! ගෙඩි ටික සී සී කඩ!! දබෝරියං ගාලා මැස්ස කඩා වැටෙන සද්දේ තමයි අත්තා ගෙට ගොඩ වෙනකොටම ඇහිලා තිබුනේ!!! අත්තා අතේ තිබ්බ කැත්තෙන් පුහුල් ගෙඩි ටික කෑලි කෑලි වලට කපලා දැම්මා.

මාමා දුවගෙන ගියා ළිඳ ගාවට. බිසෝ නැන්දා තාම නානවා.

දහ පදුරා වේ%^යේ මේං මේකටත් පුලුවන් නං මොකක් හරි කියලා බිමදමාපිය! කියල අත්තා සරම උස්සලා පෙන්නුවලු!!

මේ සිද්දිය වෙලා දැං මගෙ හිතේ අවුරුදු හතලිහකට වැඩියි. ගොල්ලෙ හේනෙ අත්තා නැතිවෙලත් දැං අවුරුදු තිහක් තිස් පහක් විතර ඇති. ඒත් තාම අපේ ගමේ ප්‍රස්ථාව පිරුළක් විදිහට “පුලුවන් නං මේං මේකටත් මොකක් හරි කරලා බිම දමාපිය” කියල කියන සිරිතක් තියෙනවා කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට අලාභයක් කරපුවම. නමුත් ගොල්ලෙහේනෙ අත්තා අන්තරා වෙනකල්ම උන්දැගෙ මොනවත් බිම වැටුනා කියලනං අපි අහලා නෑ!

තුම්පනේ ගෙදර පරම්පරාවේ මොකෙක් හරි නොසන්ඩාල වැඩක් කරපුවම තාම මිනිස්සු මතක් කරන්නෙ ‘ඔවුන්නෙ ඉතිං පුහුල් වැලටත් කටවහ වද්දවපු මිනිස්සු!!’ කියලයි!!

දෙවෙනි කතාවට සම්බන්ධ වෙන්නෙ මයිනා. මයිනා කිව්වට ඇත්ත නම ඒක නෙවෙයි. දැං ලොකු තානාන්තරක් දරන උගෙ ඇත්ත නම කිව්වොත් ඕක මං ඉස්සරහට ඇවිල්ලා ‘ඇනේ… ලොකු මල්ලි අපූරුවට ලියල තියෙනව නේද….?… ? කියල ඇදල පැදල කියන්ඩ ඉඩ තියෙනවා. එහෙම කිව්වොත් හෙම ආයෙ දෙකක් නෑ මගෙ අත් දෙක කොරවෙයි එහෙම නැත්තං ඉතිං වල කජ්ජං ගහන්ඩ උනත් ඉඩ තියෙනවා. ඇස්වහ කටවහ වලට එච්චර බලයක් තියෙනවා කියල අපේ ගමේ මිනිස්සු ඇස් දෙක පල්ලා කියල දිවුරලා කියයි!

අපි පොඩි කාලෙ ක්‍රිකට් ගහපු තැන ළග ගෙදරක ජම්බෝල ගහක් තිබ්බා. ගහ නං තාම තියෙනවා මං මේ ලගදිත් දැක්කා. ඉතිං ඔය කියන කාලෙ එක අවුරුද්දක මේ ගහේ සාර සුභාවට ජම්බෝල ගෙඩි හැදිලා තිබ්බා. එක දවසක් අපි ක්‍රිකට් ගගහා ඉන්න කොට බෝලෙ ගියා ඔය ජම්බෝල ගහ තියෙන හරියට. මයිනා තමයි බෝලෙ ඇහිදින්ඩ ගියේ…ඌ දැක්කා ජම්බෝල ගහ!

යකෝ මේ ගහේ කොළ වලට වඩා තියෙන්නෙ ගෙඩිනේ! ගහට පිස්සු හැදිලද මංදා!!

අපෝ උඹේ කට!! මේ ගහතව දවසක් දෙකක්වත් තියෙයිද මංදා? අපි එහෙම කිව්වෙ මයිනාට කටවහ තියෙන බව අපි විහිලුවට කියපු හිංදා.

අපේ අනාවැකිය ඇත්ත වෙයි කියල අපි ජීවිතේටවත් හිතුවෙ නෑ. පහුවදාට පහුවදා ජර බරාස් ගාලා අර ජම්බෝල ගහේ වැඩියෙම්ම ගෙඩි තිබ්බ අත්ත කඩාගෙන වැටුනා!! එදත් එදා හරි පිංවතුනි අද වෙනකල් ඒ ගහේ අර කඩා වැටිච්ච අත්ත තිබ්බ පැත්තේ කිසිම අත්තක් ලොකුවට හැදුනේ නෑ. පොඩි රිකිලි හැදෙනවා හැබැයි එව්ව මසෙයක් දෙකක් යනකොට මැලැවිලා, මැරිලා යනවා!! මොන බේත ගහලද එහෙම වික්කරමයක් පාන්ට පුලුවං?!!!

තුංවැනි කතාවත් මම මේ ඇස් දෙකින් දැක්ක කතාවක්. මගෙ පොඩි එකී පොඩි දවස් වල බෝලෙ වගේ ලස්සනට හිටියා. අප්පච්චිගෙ පිං පාට, ලිච්චවී රජවරුන්ගේ වගේ වෙච්ච අප්පච්චිගේ චවි කල්‍යාණය, අප්පච්චිගේ වගේ කාළ වර් ණ අක් බඹරු හිස කෙස් මේයාදී හැම හොද ගුණයක්ම අප්පච්චිගෙනුත් දඩබ්බරකම, වාචාල කම, කිව්ව නාහන ගතිය වගේ හැම නරක ගති ගුණයක්ම අම්මාගෙනුත් උරුම කරගත්තු ඒකි දැකුම්කළුයි ඒ කාලේ!!

අපේ ගමේ කටවහ ගැන තව ප්‍රසිද්ධ නැන්දම්මෙක් තමයි හීංගුණේ නැන්දම්මා. උන්දැගෙ කට හින්දම වෙන්ඩ ඇති අපේ ගැඑ එවුං කියපු කයි කතන්දර වලට මූණ දීලා ජීවත් උනේ. අසූ ගණං අග භීෂණ කාලෙ තමුන්නෙ ස්වාමි පුරුෂයා කැළෑ ආණ්ඩුව අතින් මැරුම් කාපුවම එකම දුවත් එක්ක අපේ ගමට සේන්දු වෙලා පැල් කොටයක් අටවගෙන පදිංචි වෙච්ච උන්දැ යමක් කෙනෙකුට ඇදල පැදල කිව්වොත් ආයෙ කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ ටක්කෙටම ඒ කෙනාට ඇබැද්දියක් වෙනවයි කියල අපේ ගමේ හොද විශ්වාසයක් තිබ්බා.

ඉතින් ඔන්න ඔය කියන දවසෙත් අපේ පොඩි එකා ගෙදර මිදුලෙ සෙල්ලං කර කර ඉන්න කොට නැන්දම්මා ආවා අපේ ගෙදරට.

අනේ දුව කොහොමද ඉතිං!

මේ සද්දෙට අපේ ගෙදර එක්කෙනා එතෙන්ට ගියා. මාත් එළියෙ වෙන කතා බහ ගැන හොද අවදානෙන් හිටියේ.

මං මේ…කිව්වෙ දුව දැං නං මේ පොඩි දුව හොද සනීපෙට ඉන්නවා කියල. අනේ හොදයි…පාටත් වැටිලා!!

අපේ ගෙදර එක්කෙනා කතාව වෙන පැත්තකට හරවන්ඩ උත්සාහ කරමින් ආ..නැන්දම්මා කඩේ යනවද කියල ඇහුවා…

ඔව් දුව…මම එනකොට පොඩි දූට ටොපියක් ගේන්නංකො ඈ…කියල හීංගුණේ නැන්දම්මා යන්ඩ ආපු ගමන ගියා!! උන්දැ ආපහු එනකොට ටොපියක් ගෙනාවද නැද්ද කියන්ඩ මට මතකයක් නෑ. හැබැයි මට හොදටම මතකයි එදා රෑ හත අට වෙනකොට පොඩි එකීට හොදටම උණ ගත්තා කියන එක. රෑ දෙගොඩහරි ජාමේ වෙනකොට පැයෙන් පැයට වගේ වමනේ යන්ඩත් පටං ගත්තා. අන්තිමට රෑ දෙකට තුනට විතර අපි ටවුමට ගිහිං පොඩි එකීට බේත් අරං දුන්නා. දවස් හතර පහක් යනකල්ම පොඩි එකීට කන්ඩ පිරියක් නෑ. ඒ හිංද වැහැරිලා ගියා බලා ඉන්දැද්දිම වගේ.

අපි ඊට පස්සෙ හරි පරිස්සං උනා හීංගුණේ නැන්දම්මගෙන් ළමයව බේර ගන්ඩ. එච්චර පරිස්සමක් ආයෙ උනේ ගිය අවුරුද්දෙ කොරෝනා වලින් බේරගන්ඩ විතරයි ඕං!!!

මේ සිද්දි අහම්බයෙන් වෙච්ච එව්වද? නැත්තං ඇත්තටම ඇස්වහ කටවහ වගේ සංසිද්ධි මේ ලෝකෙ තියෙනවද? අඩුම ගානෙ ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල මේ ගැන යම් විශ්වාසයක් තියෙනවා කියල මං අත් දැකල තියෙනවා. එතකොට අනික් රටවල් වල ඇස්වහ කටවහ තියෙන මිනිස්සු නැද්ද?ෙකම පිරිසක් වටා මේ ඇස්වහ කටවහ සම්බන්ධ කතන්දර ගොඩ නැගෙන්නේ කොහොමද? කට ඇරියොත් එහෙම නැත්තං නරක හිතිං හිතාගෙන බැලුවොත් අනිත් කෙනෙකුට අකරහනියක් කරන්ඩ පුලුවං විදිහේ බලවේග මේ කට්ටියට තියෙනවනං අපිට ඒ අයව එක්කහු කරල රටට සමාජයට වැඩක් ඇති දෙයක් කරව ගන්ඩ බැරිද?

උදාහරනයක් විදිහට ලංකාවෙ මහා භාණ්ඩාගාරෙ දිහා බලල කෝ ඉතිං මේකෙ මොනවත් නෑනෙ..මෙහෙම තිබ්බම හරි ලස්සනයි වගේ දෙයක් කියෙව්වොත් එදා ඉදං භාණ්ඩාගාරෙට සල්ලි ඇවිල්ලා භාණ්ඩාගාරෙ පිරිලා ඉතිරිල අර කට්ටිය කියපු ලස්සන නැතිවෙලා යාවිද?

එහෙම නැත්තං අපේ හතුරු රටකට ගිහිං කිව්වොත් අනේ කොච්චර ලස්සනට මේ රටේ මිනිස්සු ජීවත් වෙනවද? කියල ඒ මිනිස්සුන්ට නිරන්තර ලෙඩ දුක්, අමනුස්ස, මරණ යනාදී එකී නොකී මෙකී හැම අතුරු ආන්තරාවක්ම ඇවිල්ලා ඒ රට නස්කූනිම වෙලා යයිද?

එහෙම නැත්තං ඇස්වහ කටවහ පාවිච්චි කරන්ඩ පුලුවං හොදට තියෙන දෙයක් නරක් කරන්ඩ විතරමද? ‘නුවර කළාවියේ ජනවහර’ පොත ලියපු කේ.බී.මානෑව මහත්තයා ඒ ප්‍රදේශයේ ඇවිදිලි පැවිදිලි ගැන ලියන කොට මෙන්න මෙහෙම ලියනවා…”ගමේ ඇත්තියකට රූපී කීමත් විරූපී කීමත් නාකලු. හේතුව රූපී කියන විට ඇස්වහ වැදෙන අතර විරූපී කීවොත් කුකුළ් කේන්තිය ඇතිවන නිසයි”. ඒ කියන්නෙ කැත කෙනෙකුට ඇස්වහ කටවහ තියෙන කෙනෙක් ලවා ලස්සනයි කියෙව්වට වැඩක් නෑ කියන එකද?

එහෙම නැත්තං ඇස්වහ කටවහ කියන්නෙ පාලනයකින් තොර යම් බලවේගයක්ද? ධම්මික වෙද මහත්තයා පත්තරේකට සාකච්චාවක් දීලා නාහෙන් අඬල තිබ්බ ගිය සතියේ ධම්මික පැණියට වෙච්ච දේ ගැන කම්පාවෙන්. ඒ කියන්නෙ කාළි මෑණියන්ටත් ටක්කෙටම කියල යමක් කරන්ඩ කියන්ඩ බැරිද?  එතුමිය කියන කරන උදව් පදව් කරන එතුමිය ආරූඩ වෙලා ඉන්නවයි කියන ධම්මික මහත්තයාවගේ කට්ටියටත් එතුමිය ලණු දෙනවද?

ඇස්වහ කටවහ කියන්නෙ බොරු හැබැයි මනුස්සයන්ට දෝස කරන වගේම දෝස සමනය කරන්ඩ පුලුවන් දෙවි දේවතාවෝ නං අනිවා ඉන්නවා කියල කෙනෙක් කිව්වොත් මං හිතන්නෙ ඒ කියන කෙනාගෙ දෙපිටකාට්ටුකම කියල.

ඔබතුමන්ලා මොකද හිතන්නෙ ඇස්වහ කටවහ ගැන?

– කට්ටකාඩුව


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *