‘ඇඟේ වදින’ ප්‍රශ්ණ – Vikalpa

Spread the love

iMage; “ඩෝසරයට එරෙහිව අපි කොළඹට” JVP/Protest_Colombo

ග්‍රේටා තුන්බර්ග් 17 හැවිරිදි ස්විඩනයේ පාසල් ශිෂ්‍යාවකි. ඇය පිළිබද ලොව කතා කිරීමට පටන් ගත්තේ 2018 වසරේ සිටය. ඒ ස්වීඩන් පාර්ලිමේන්තුව අසල සෑම සිකුරාදාවකම ‘පාරිසරික වැඩවර්ජනයක්’ ආරම්භ කිරීමත් සමග ය. ඇගේ එම නිර්භිත ක්‍රියාව ඉතා ඉක්මනින්ම ලොව පුරා මිනිසුන්ගේ අවධානය දිනා ගත්තේය. ඉන්පසුව ට්විටර් හී #FridaysForFuture නමින් හෑෂ් ටෑගයක් ද නිර්මාණය වූ අතර, ඒ මත ලොව පුරා තරුණ තරුණියන් ඒ හෑෂ්ටෑගය සමග පරිසර ප්‍රශ්ණය පිළිබද විවිද සංවාද අන්තර්ජාල අවකාශයට මුදා හැරියේ ය. එතැන් පටන් ග්‍රේටා, ලෝකයේ පාරිසරික ප්‍රශ්ණ ඇතුලු විශේෂයෙන් කාලගුණික වෙනස් වීම්වලින් ඇතිවිය හැකි ව්‍යසනයන් නිසා මානව වර්ගයා මුහුණ දෙන අර්බුද පිළිබද කතා කරන ප්‍රභල චරිතයක් බවට පත්වුවාය.

පසුව, 2019 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයට පවා ඇගේ නම නිර්දේශ විය.

ටයිම්ස් සගරාවේ ප්‍රධාන කර්තෘ ඇය පිළිබද මෙසේ සදහන් කළාය.  ‘She becom the biggest voice on tthe biggest issue facing the planet this year’  එය අප කාටත් පිළිගත හැකි ප්‍රභල අදහසකි.

එසේම ටයිම් සඟරාව විසින් ම 2019 දී,  ‘වසරේ පුද්ගලයා’ (“Person of the Year”) වශයෙන් ග්‍රේටා තුන්බර්ග්ව නම් කළේය. ඇයට එම ගෞරව නාමය හිමිවීමට ප්‍රධාන හේතුව ලෙස,  ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබදව සහ එයට එරෙහිව කටයුතු කරන ළාබාලතම ක්‍රියාකාරිකාව  වීම යි.

ග්‍රේටා සහ භාග්‍යා

ස්වීඩනයේ ග්‍රේටා තුන්බර්ග් සහ ලංකාවේ භාග්‍යා අබේරත්න සංසන්දනය කරමින් සමාජ මාධ්‍ය තුළ විවිද අන්තර්ගතයන් පසුගිය දිනවල පළවෙමින් තිබිණි. එයට ආසන්නම හේතුව වූයේ 19 හැවිරිදි තරුණියක වන භාග්‍යා අබේරත්න විසින් සිරස රූපවාහිනිය තුල දී සිදුකල ප්‍රකාශයකි. සිංහරාජ ලෝක උරුම වනාන්තරය අසල ජීවත්වන භාග්‍යා විසින්, සිය දෑස ඉදිරියේ හානියට පත්වන පරිසර පද්ධතිය පිළිබද සිය අදහස නොබියව ප්‍රකාශ කළාය. ඇයට පෙනුන, දැනුන දේ ඇය ප්‍රකාශ කළාය. ඉන් පසු භාග්‍යා සහ සිංහරාජය සම්බන්ධයෙන් විශාල ලෙස සමාජ මාධ්‍ය ඇතුලු මාධ්‍ය අවකාශයේ මෙන්ම, දේශපාලන ක්ෂේත්‍රයේත් සාකච්ඡාවට ලක්විය. ඒ සම්බන්ධයෙන් එතෙක් පැවති සාකච්ඡාව වේගයෙන් ඉදිරියට ගියේ ය. තවමත් එය එසේම යමින් තිබේ.

මේ තත්ත්වය තුළ බොහෝ අය විසින් ග්‍රේටා සහ භාග්‍යා සසදමින්, විශේෂයෙන් සමාජ මධ්‍යන් තුල සිය අදහස් හුවමාරු කරගනිමින් සිටී. නමුත් අප තේරුම් ගත යුතු කරුණු කිහිපයක් තිබේ.

එනම් ග්‍රේටා තුන්බර්ග් සාකච්ඡා කරන්නේ පොදු විෂයක්, පොදු තේමාවක් පිළිබදවය. අනෙක් පසින් එය ගෝලීය සාකච්ඡාවකි. ලෝකයටම පොදුවේ මුහුණ දීමට නියමිත ගැටලුවකි.

නමුත් භාග්‍යා ප්‍රකාශ කරන ලද්දේ නිශ්චිත කරුණක් ගැනය. නිශ්චිත කලාපයක් මූළික කර ගනිමින්, සමස්ථ ජාතික ප්‍රශ්ණයක් වන, ‘වන විනාශය’ පිළිබද වන අදහසකි. එම අදහස් තුළ වන විනාශයන් පිළිබද නිශ්චිත ඉලක්ක තිබේ. නිශ්චිත භූමියක් පිළිබද අදහසක් තිබේ. අනෙක් පසින් භාග්‍යාගේ අදහස නිශ්චිත භූගෝලිය පිහිටීමකට අදාළය.

ප්‍රශ්ණ ඇඟේ  වැදීම

ඕනෑම අයෙක්ට ගෝලීය මට්ටමෙන් සිදුවන පරිසර හානිය, ඇතිවන විපර්යාසයන්  පිළිබද වන පලුල් සාකච්ඡාව කිරීමට ඇති අපහසුතා අවමය. ඇතැම් විට නැති තරම්ය. ඒවායින් බොහෝ විට කිසිදු පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඉලක්ක නොවන නිසාය. (නමුත් ඇතැම් අවස්ථාවලීද කොකා කෝලා වැනි සමාගම්වලට ඇතැම් රටවලදී සෘජුවම චෝදනා එල්ල විය. එසේ වුවත් එය වඩා හිතකර ප්‍රතිඵල ලබා දෙන ක්‍රියාවලීන් දක්වා පැතිර ගියේ නැත.) මින් අදහස් කරන්නේ එසේ පොදු ප්‍රශ්ණයක් තුළින් ඇති විය හැකි, ව්‍යසනයන් ගැන කතා කරන ග්‍රේටා වැනි ශිෂ්‍යාවන් සහ අනිකුත් අයගේ අරගලවලට අඩු තක්සේරුවක් දීම නොවේ. ඒවා ලෝකය හමුවේ සාකච්ඡා කළ යුතු අතිශයින් සංකිර්ණ ප්‍රශ්ණය. ඒවාට මැදිහත්වීමත් ඒ තරමටම සංකීර්ණය. ඒවා අත්‍යවශයෙන්ම ලෝකය එක්ව විසදා ගත යුතු ප්‍රශ්ණ ය.

නමුත්, භාග්‍යා කතා කරන නිශ්චිත අදහස සෟජුවම අතැම් පුද්ගලයන්ගේ ඇඟේ  වැදීම වැලැක්විය නොහැකිය.  එම නිසාම එවැනි දේවල් විශේෂයෙන් ලංකාව වැනි රටක කතා කිරීම  අපහසුය. අපහසුවනවා පමණක් නොව එය ඇතැම් පාර්ශවයන්ගේ උදහසට පවා ලක්විය හැකිය. වෛරයට භාජනය විය හැකිය. වෙනස්කොට සැලකීමට ලක්විය හැකිය. එය අවසානයේ බියකරු අත්දැකීමකින් පවා ලංකාව තුළ දී අවසන් විය හැකි යැයි කිවහොත් වැරදිද?.

සමාජ මාධ්‍යතුළ ද්වේශයට, වෛරයට භාජනය වීමත්, පොලීසියේ සහ රාජ්‍ය නිළධාරින්ගේ ප්‍රශ්ණ කිරීමට ලක් වෙමින්,  භාග්‍යාට මුහුණ දීමට සිදුවූ තත්ත්වයන් හොදින් අර්තකතනය කිරීම ම ප්‍රමාණවත්ය. (දැන් වන විට භාග්‍යා අබේරත්න නමින් ව්‍යාජ ෆේස්බුක් පිටු පවා නිර්මාණය කරමින්, ඉතාමත් සියුම් ලෙස ඇයව පීඩනයට ලක්කිරීමට පටන් ගෙන තිබේ) නමුත්, භාග්‍යා විසින් කළ ප්‍රකාශය කොතරම් සවිඥාණිකව කලා දැයි කියන ප්‍රශ්ණයට වඩා,  ලංකාව වැනි රටක සිට, භාග්‍යා වැනි යොවුන් තරුණියක්, එවැනි ඉලක්ක ගත මාතෘකාවක්, සෘජුව සහ නිශ්චිතව කතා කිරීම බරපතල අභියෝගයකි. එනයින් භාග්‍යා සහ භාග්‍යා වැනි අයට ඇත්තේ, ස්වීඩනයේ ග්‍රේටාට වඩා අභියෝගයකි.

එසේම, වරදකර දඩුවම් නොලබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණඩමුක්තිය පතුලටම කිදා බැස ඇති රටක එවැනි දේවල් සිදුකිරිම ම සිය  ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයකි. එසේම, එවැනි ධෛර්ය සම්පන්න මිනිසුන් සහ ගැහැණුන්, ඊනියා දේශප්‍රේමීන්ගේ සහ ජාතිවාදීන්ගේ ගොදුරු බවට පත්වීමට ඇති අවස්ථා ද වැඩිය. අනෙක් දෙය නම්, විවිද දේශපාලන අවස්ථාවාදීන්ගේ ව්‍යාපෘතිවලට ‘බා ගැනීමේ’ අවස්ථාද උදා විය හැකිය. තවද හැම අතකින්ම ද්‍රවීකරණය වූ ලංකාවේ මාධ්‍ය මේ හඩවල්, සිය ලාභය සදහා භාවිතා කිරීමේ ප්‍රවණතාවයද ඉතාමත් ඉහළය.  මෙවැනි කරුණු නිසා භාග්‍යා සහ භාග්‍යා වැනි අයට එවැනි නිශ්චිත ප්‍රශ්නයක් කතා කිරීම සහ එයට ක්‍රියාකාරීව මැදිහත් වීම,  ග්‍රේටාට වඩා අභියෝගයකි.

නමුත්, මේ වන විට ලංකාවේ කිසිදු ප්‍රශ්ණයක් නිකංම කතා කීරීමට හැකි ඒවා නොවේ. ඒවා කාගේ හෝ ඇගේ වැදීම වැලැක්වීමට නොහැකිය. කාට හෝ ඇගිල්ල දික්වීම නියමයක් තරමටම ප්‍රශ්ණ කේන්ද්‍රීයව පවතී. වනාන්තර විනාශය, අනවසර වැලි ගොඩ දෑමීම ආදියේ සිට හොරකම්, වංචා-දූෂණ, පැහැරගැනීම්, පහරදීම් සිට ඝාතනය කිරීම් දක්වා  වූ අපරාධවලට කාට හෝ ඇගිල්ල දිගු වෙයි. එම අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා කාගේ හෝ ඇඟේ  වදිනු ඇත.

ප්‍රශ්ණය ඇත්තේ ඇඟේ  වැදුනත් රිදෙන්නේ නැති වීමය. රිදෙන්න නම් දැනෙන්න අවශ්‍ය ය. දැනෙන්න නම්, ශිෂ්ට ලෙස කල්පනා කිරීමක් අවශ්‍ය ය. එවැනි කිසිවක් නැති හිරිවට්ටා ඇති සමාජයක එවැනි දේවල් සිදුකිරීම ම අභියෝගයකි. (පාකිස්ථානයේ ක්‍රියාකාරීණියක් වන, 23 හැවිරිදි මලාලා යූසුෆ්සායි, අන්තවාදීන්ගේ සෘජු ඉලක්ක බවට පත් වූයේ ඒ නිසාය. පාකිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම නිසා, 2012 දී තාලිබාන් ව්‍යාපාරය විසින්, මලාලා යූසුෆ්සායි වෙඩි තබා මරා දැමීමට තැත් කරනු ලැබීය. ඒ ඇය විසින්, නිශ්චිත, ඉලක්ක ගත අදහසක් වෙනුවෙන් පෙනී සිටිමින්, අන්තවාදීන්ගේ අදහස්වලට විරුද්ධව හඩ නගන නිසාය.) 

ජාතිවාදීන්ගෙන් භාග්‍යා ලා ගලවා ගත යුතුය.

‘ගස්වලට, සතා සිව්පාවාට ආදරේ නැති අය මිනිසුන්ට ආදරේ කරන්නේ නෑ’ පාසල් වියේ දී කවුරුන් හෝ කීවා තාමත් මතක ය. නමුත්, දැන් එය වෙනත් විදිහකට සකස් විය යුතු යැයි හැගේ. එනම්, ‘මිනිසුන්ට ආදරේ නැතිව, ගස්වලට, සතා සිව්පාවාට ආදරේ කරලා වැඩක් නැත’ යනුවෙන් ය.

එය එසේ වීමට උදාහරණ එකක් පමණක් ලියමි.

අතුරුදහන් කරන ලද සිය ආදරණිය සැමියා සොයා වසර ගණනාවක් ඇවිදින, සංධ්‍යා එක්ණැලිගොඩ නම් දිරිය කාන්තාවට, ලංකාවේ අධිකරණ භූමියක දී වෛරී අකාරයට බැණ වැදුනේ ගලගොඩ අත්තේ ඥානසාර නම් භික්ෂුවය. එම භික්ෂුවම, මුස්ලිම් මිනිසුන්ට එරෙහිව වෛරය වපුරන ලද්දේ මහ දවල් ප්‍රසිද්ධියේය. එවැනි ආකාරයේ භික්ෂූන් සමූහයක්ම, එ දවස සිට අද දක්වාම පරිසරය ගැන කතා කරයි. පරිසරය රැකගත යුතු බව කතා කරයි. ඔවුන් තරම් පරිසරයට ආදරේ කරන කිසිවෙක් නැති සේයකි. නමුත්, ඔවුන් සියලු දෙනා, මිනිස් වේදනාවන් සම්බන්ධයෙන් බලන්නේ වෛරී සහගතවය. ඔවුන් පීඩිත දෙමළ සහ මුස්ලිම් ජනයාගේ යුක්තිසහගත ප්‍රශ්ණ දෙස බලන්නේ  ජාතිවාදී මඩගොහොරුවේ පීනා යමිනි. එබැවින් ඔවුන් කොතෙක් පරිසරය ගැන කතා කලත් වැඩක් වන්නේ නැත. මිනිසුන්ට, මිනිසුන් ලෙස ආදරේ නොකර, ගෞරව නොකර, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිනොගනිමින්, පරිසරය රැකගැනීම සදහා ක්‍රියාකිරීම යන්නම අශිෂ්ටත්වය නිරූපණය කරන්නකි. එය ගෝත්‍රික ස්වාභාවයකි.

එබැවින් පරිසරය රැකගැනීම, සංරක්ෂණය කිරීම ගැන කතා කරන, විශේෂයෙන් තරුණ පිරිස්, එවැනි ජාතිවාදීන්ගෙන් ආරක්ෂාකර ගැනීමත්, ජාතිවාදීන්ගේ ඔඩොක්කුවට වැටෙන්නට නොදී, ජාතිවාදීන්ගේ ගොදුරු බවට පත්වෙන්නට ඉඩ නොදී, ඔවුන්ව මනුෂ්‍යත්වය  දෙසට යොමුකිරීමත්, ශිෂ්ට පුරවැසියන්ගේ වගකීමකි. එය පුරවැසි සමාජයට අත්හළ නොහැකි වගකීමකි.

එසේම, ලංකාවේ ‘යුක්තිය ඉල්ලා සිටින මිනිසුන්ගේ’  ප්‍රශ්ණයට යම් ප්‍රමාණයකින් හෝ මැදිහත් නොවී, ‘පරිසර යුක්තිය’ පිළිබද පමණක් කතා කිරීමෙන් ලංකාව ‘සංවර්ධනය’ කරා ගෙන යා නොහැකිය.

‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’ බුදුන් වහන්සේ!

 

Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *