ආහාර්්‍යය අභිනයත් සමඟ හෙට | රාවය

Spread the love

නිමල් අබේසිංහ

මාධ්‍ය අරභයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මාර්තු 20 දින පැවසූ දේවල් එතරම් ශුභදායක නොවන බව ඒ කතාව ඉදිරිපත් කළ ශෛලියෙන්ම හිතාගත හැකිය.

ජනාධිපතිවරයා එය නිකම්ම නිකම් පැවසූ දෙයක්ද නොවන බවට ඇති සැකය ද ඉහළ වුවකි. ශ‍්‍රී ලංකාවේ රජවරු හෝ මහාරාජාවරු නැති බවත් ඔවුන් සිටින්නේ අසල්වාසි ඉන්දියාවේ බවත් ඔහු අවධාරණය කරමින් කළේ අනතුරු ඇඟවීමක්ද ?

එය එසේ නම් මෙරට මාධ්‍යකරුවන්ට (එය විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය යැයි වෙන් කළ නොහැකිය) සිය මාධ්‍යකරණයේදී වඩාත් පරිස්සම් වීමට කළ ඉඟියක් විය හැකි නොවේද ?

අතීතයේ සිදුවුණ ඇතැම් සිද්ධි අනුව නම් අපට පෙනෙන්නේ මෙය අනාගත ව්‍යසනයක ඇරඹුමක් පිළිබඳව දෙනු ලබන සංඥාවක් විය හැකි බවය. තමන් කරන කියන දේ සියල්ල හරියැයි විශ්වාස කරන ඒවා ගැන සාධාරණ විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන්ට කවදත් ඒකාධිපතියන් විරුද්ධය. එවැනි පන්නයේ අය කිසිසේත් තමන්ගේ විවේචකයින් ඉවසන්නේ නැත. ඔවුන් කුමන ආකාරයකින් හෝ යටපත් කරදැමීමට පසුබැස්සවීමට සැළැස්වීම මෙවැනි ඒකාධිපතියන්ගේ සිරිතය. ඒ පසුබැස්සවීම විවිධ මුහුණුවරින් සිදුවීමටද ඉඩ තිබේ. අතීත පාඩම් ඇසුරේ ඒවා පිළිබඳ ඉඟි සපයා ගැනීමටද ඉඩ නැතිවාම නොවේ.

‘‘ආයුබෝවේවා මහරජානෙණි’’ යැයි ගීතයක් උත්කර්ෂයට නංවමින් රාජ්‍ය රූපවාහිනි නාලිකා ඔස්සේ වන්දිභට්ට ගීතයක් ප‍්‍රචාරය වූයේ එයටම ගැලපෙන නැටුම් හා සංගීතයක්ද වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතචා ජනාධිපති වී සිටි සමයේය. එකල නම් ශ‍්‍රී ලංකාවේ රජවරු නැතැයි කිසිවෙකු පැවසුවේද නැත. එය වත්මන් ජනාධිපතිවරයාගේ කතාවට කිනම් ආකාරයකින් සම්බන්ධ වන්නේ ගැටළුවක් කුකුසක් ඇතිවිය හැකිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මාර්තු 20 දින කතාව තුළින් දෙන සංඥාව වුයේ ඕනෑනම් මට රජෙක් විය හැකිය යන්න නොවේද ? එහිදි දැක්වු වාචික ශාරීරික හා සාත්වික අභිනයන් හඳුනාගන්න හැකි වුවෙකුට එය එසේ නොවේදැයි වැටහෙනු නොඅනුමානය. එය අසම්පූර්ණ අභිනයක් පමණි. තවත් අවශ්‍ය ආහාර්්‍යය අභිනය පමණි. ඉදිරියේදි එය පැමිණීමට නියමිතව තිබේ. එවිට පිරිපුන් නාටකය රඟ දැක්වෙනු ඇත.

THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: