අන්දරේ සීනි කෑ හැටි (හත්වන කොටස)

Spread the love





අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තෙවන කොටසින් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. මිල පාලනය ගැනත් කතා කළා. සිවුවන කොටසින් බදු ගැන කතා කළා. පස් වන කොටසින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. හයවන කොටසින් අපි ලංකාවේ සීනි වෙළඳපොල ගැන තව ටිකක් කතා කළා. විශේෂයෙන්ම ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන කතා කළා. 

මුල් කොටස් පහේ විස්තර කළ දේවල් ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු බවත් හයවන කොටසින් විස්තර කළ ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය පිළිබඳ අදහස ආර්ථික විද්‍යා මූලධර්ම හා ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳ තොරතුරු මත පදනම්ව ලේඛකයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් මෙහිදී කිව යුතුයි.

ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන ලියූ දේ සාරාංශගත කළොත් අප විසින් පෙන්වා දී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ සැපයුම් වක්‍රයේ අදාළ කොටසේ බෑවුම ශුන්‍යයට ආසන්න බවයි. එහෙමත් නැත්නම් සැපයුම් වක්‍රයේ අදාළ කොටස තිරස් රේඛාවක් බවයි.

අප පෙර ඉගෙන ගත් පරිදි කිසියම් වෙළඳපොලක සියලුම සැපයුම්කරුවන්ගේ ලාබ සැපයුම් වක්‍රයට උඩින්, සමතුලිත මිලට යටින් හා සමතුලිත ප්‍රමාණයට වම්පසින් පිහිටි ප්‍රදේශයේ වර්ග ඵලයට සමානයි. සැපයුම් වක්‍රය තිරස් රේඛාවක්නම්, සමතුලිත මිල තිබෙන්නේත් ඒ මට්ටමේමනම් මේ කියන වර්ග ඵලයද ශුන්‍යයි. ඒ කියන්නේ සැපයුම්කරුවන් විසින් ලාබයක් ලබන්නේම නැහැ. එහෙම වෙන්න පුලුවන්ද?

එහෙම වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේදී අපි ලාබ ලෙස හදුන්වන්නේ ආර්ථික ලාබ මිසක් ගිණුම්කරණ ලාබ නෙමෙයි. ආර්ථික ලාබ ලෙස හඳුන්වන්නේ ගිණුම්කරණ ලාබ වලින් ගිණුම් වල නැති ආවස්ථික පිරිවැය අඩු කළ පසු ඉතිරි වන කොටසයි. උදාහරණයක් විදිහට සමාගමක අයිතිකරුවන් වැටුප් ලබා නොගෙන වැඩ කළානම් ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් නිසි මුදලක් ලාබ වලින් අඩු කළ යුතුයි. ආර්ථික විද්‍යා විශ්ලේෂනයකදී ලබා නොගත් වැටුප් ලාබ සේ සලකන්න බැහැ. ඒ වගේම සමාගමටම අයිති ගබඩාවක සීනි ගබඩා කර තැබුවත් ගබඩා ගාස්තු වෙනුවෙන් නිසි මුදල ලාබ වලින් අඩු කළ යුතුයි. ලාබ ශුන්‍ය සේ සලකන්නේ ඔය ආකාරයේ ගිණුම් වල නැති වියදම්ද අඩු කිරීමෙන් පසුවයි. 

ඔය ආකාරයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසුව තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවන්ගේ ලාබ ශුන්‍ය වෙනවා. එසේ නොවනවානම් ඒ ඒවාට කියන්නේ සුපිරි ලාබ කියලයි. ආර්ථික විද්‍යාවේදී සැබෑ ලාබ සේ සලකන්නේ මේ ආකාරයේ සුපිරි ලාබයි.

සැපයුම්කරුවෝ හැම වෙලාවේම තමන්ගේ ලාබ වැඩි කරගන්න උත්සාහ කරනවා. තනි සැපයුම්කරුවෙකුට වෙළඳපොළ මිල පාලනය කළ නොහැකි නිසා ලාබ වැඩි කරගන්න තිබෙන එකම ක්‍රමය පිරිවැය අඩු කර ගැනීමයි. ලංකාවට සීනි ආනයනය කරන හැම සැපයුම්කරුවෙකුටම සීනී ගේන්න වෙන්නේ එකම පිරිවැයක් දරමින් කියා මම කලින් කොටසේ කිවුවත් මේ ප්‍රකාශය ආසන්න සත්‍යයක් පමණයි. ලෝක වෙළඳපොළේ සීනි මිල දවසෙන් දවස වෙනස් වෙනවා. විණිමය අනුපාතිකයත් දවසින් දවස වෙනස් වෙනවා. නමුත් හැම සැපයුම්කරුවෙකු විසින්ම ලංකාවට සීනි ගේන්නේ එකම දවසේ නෙමෙයි. ඒ නිසා එක් එක් සැපයුම්කරුවාගේ පිරිවැය වල පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. 

සමහර සැපයුම්කරුවන්ගේ පිරිවැය රුපියලක් දෙකක් අඩු වෙන්න පුළුවන්. ඒ අයට අනෙක් අයට සාපේක්ෂව පොඩි අමතර ලාබයක් තිබෙනවා. මේ කතාව සැපයුම් වක්‍රය ඇසුරෙන් පැහැදිලි කළොත් තිරස් රේඛාවක් කියා කිවුවත් ඔතැන තියෙන්නේ පඩි පෙළක ආකාරයේ සමාන්තර තිරස් රේඛා කිහිපයක්. සැපයුම් වක්‍රය තිරස් එකක් කියා කිවුවත් එහි සුළු බෑවුමක් තිබෙනවා. ඒ සුළු බෑවුම නිසා මම කලින් ලිපියේ කියූ දේවල් කිසිවක් දැනෙන තරමට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට සැපයුම් වක්‍රය තිරස් රේඛාවක් ලෙසම සලකමු.

මේ තිරස් රේඛාවේ උස තීරණය කරන ප්‍රධාන සාධක වන්නේ ආනයනික මිල හා ලංකාවේ රජය විදින පනවන බදු අනුපාතිකයයි. පහත ප්‍රස්ථාරය පෙන්වා තිබෙන්නේ ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිල තීරණය වන ආකාරයයි.

ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳව මා විස්තර කර තිබෙන කරුණු නිවැරදි බව තහවුරු වෙනවා. මිල තීරණය කෙරෙන ප්‍රධානම සාධකය ලෝක වෙළඳපොළේ සීනි මිලයි. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වෙනවා. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වීම නිසා ආනයනික මිල ලෝක වෙළඳපොළේ සීනි මිලට වඩා 7%කින් පමණ ඉහළ මිලක්. ආනයනික මිලට බදු එකතු වෙනවා. එම මුළු එකතුවම පිරිවැයේ කොටසක්. ඉන්පසුව ආනයනකරුගේ, තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ආන්තික මේ පිරිවැයට එකතු වෙනවා. එම සියලුම ආන්තික වල එකතුව 12%ක් පමණ. 
මේ ප්‍රස්ථාරයේ බදු පිළිබඳ දත්ත සියයට සියයක්ම නිවැරදි නැහැ. කිසියම් වසරක් තුළ බදු වෙනස් වූ විට අදාළ වසර සඳහා සාමාන්‍ය බදු ප්‍රමාණය සේ සැලකිය හැක්කේ එක් එක් බදු අනුපාතිකය යටතේ ආනයනය කළ සීනි ප්‍රමාණය අනුව බර තැබූ අගයක්. එම දත්ත මා සතු නැති නිසා මෙහි තිබෙන්නේ මගේ ආසන්න ඇස්තමේන්තු. බදු අනුපාතික වෙනස් නොවූ වසරවල් සඳහා දත්ත සම්පූර්ණයෙන්ම නිවැරදියි.

ඒ නිසා උදාහරණයක් විදිහට අපි බදු වෙනස් නොවූ වසරක් වන 2011 වසර සලකමු. එම වසරේ ලෝක වෙළඳපොළේ සීනි කිලෝවක මිල ඩොලර් 0.70ක්. එම වසරේදී ඩොලරයක් 110.57ක් වූ නිසා මෙය රුපියල් 77.15ක මුදලකට සමානයි. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වී ලංකාවට එන විට සීනි කිලෝවක් රුපියල් 81.80ක් වෙනවා. ඉන් පසු මෙයට රුපියල් 5ක බද්දක් එකතු වෙනවා. දැන් සීනි කිලෝවක් රුපියල් 86.80ක් වෙලා. ආනයනකරුගේ හා අනෙකුත් අතරමැදියන්ගේ ලාබ ආන්තික එකතු වීමෙන් පසුව සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 96.11ක් වෙනවා. 

වෙනත් වසරක දත්ත පරීක්ෂා කළත් පෙනෙන්නට තිබෙන චිත්‍රය මීට වඩා වෙනස් නැහැ. සීනි වෙළඳපොළෙහි මාෆියාවක් හෝ සුපිරි ලාබ ලබන අතරමැදියන් පෙනෙන්නට නැහැ. අතරමැදියන්ගේ අතිරික්තය ඔවුන්ගේ වක්‍ර වියදම් ආවරණය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නෙමෙයි. හැම අතින්ම පෙනෙන්නේ තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ.

සීනි වෙළඳපොළේ අතරමැදියන්ගේ ලාබ ආන්තික වසරින් වසර වෙනස් වන බවක් පෙනෙන්නේ නැහැ. මෙයට හේතුව ප්‍රමාණවත් තරඟකාරිත්වය ලෙස සැලකිය හැකියි. ඒ අනුව සැපයුම් වක්‍රය තිරස් හැඩයක් ගන්නා බවට අප කළ නිගමනය නිවැරදි බව තහවුරු වෙනවා. අතරමැදියෙකු විසින් සුපිරි ලාබ ලබනවානම් ඒ කලාතුරකින් හා සුළු වශයෙන් මිසක් සාමාන්‍ය තත්ත්වය ලෙස විය නොහැකියි. ඒ වගේම නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද විශාල ලෙස විචලනය වන්නේ නැහැ.

කෙසේ වුවත් ලෝක වෙළඳපොළේ සීනි මිල විශාල ලෙස විචලනය වෙනවා. විණිමය අනුපාතිකය කාලයත් සමඟ ටිකෙන් ටික පිරිහෙනවා. ඒ වගේම සීනි වල ආනයනික මිල වෙනස් වෙද්දී රජය විසින් මිල ස්ථාවර වන ආකාරයට බදු අනුපාතික වෙනස් කරනවා. මේ සාධක තුන මත සැපයුම් වක්‍රයේ තිරස් කොටසේ උස වරින් වර වෙනස් වෙනවා. එයට අනුරූපව සීනි වල සිල්ලර මිලද වෙනස් වෙනවා.

ඉහත කරුණු අනුසාරයෙන් අපට සීනි වෙළඳපොළේ කිසියම් විකෘතියක් වී තිබේනම් එය හදුනාගන්න පුළුවන්. 

– ඉකොනොමැට්ටා 


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *