අන්දරේ සීනි කෑ හැටි (අටවන කොටස)

Spread the love





අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

මේ ලිපි මාලාවේ මුල් කොටස් පහෙන් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ඇතුළු ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු ගැන හැදෑරුවා. හයවන හා හත්වන කොටස් වලින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. මේ කොටසින් අපි සීනි වලට බදු ගැසීමේ මෑතකාලීන ඉතිහාසය ගැන කතා කරමු. 

බදු ගහන එකේ ප්‍රධානම අරමුණ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීම. ඊට අමතරව, රටේ ආදායම් විෂමතාවය අඩු කිරීම, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම, අහිතකර පුරුදු අධෛර්යමත් කිරීම වගේ වෙනත් අරමුණු මතද බදු අය කරනවා. වෙනත් අරමුණු තිබෙන අවස්ථා වලදී පවා බොහෝ විට ලංකාවේ බදු ප්‍රතිපත්තිය තුළ වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීමටයි.

ලංකාවේ බදු බොහොමයක් පාරිභෝගිකයින් විසින් ගෙවන වක්‍ර බදු. මේ ආකාරයේ බදු වලින් ආදායම් විෂමතාවය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සීනි බද්දම හොඳ උදාහරණයක්. ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සීනි වෙනුවෙන් වැඩි වියදමක් දරන්නේ පහළ ආදායම් ස්ථර වල අය. ඒ නිසා, සීනි බද්ද වගේ බද්දකින් ඉහළ ආදායම් ස්ථර වල අයගෙන් ඉතා සුළු බදු අනුපාතිකයක් අය කෙරෙද්දී පහළ ස්ථරවල අයගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බදු ලෙස අය කෙරෙනවා.

ඉහත ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ ලංකාවේ එක් එක් ආදායම් කාණ්ඩය තමන්ගේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් සීනි මිල දී ගැනීමට වැය කරනවාද කියන එකයි. පහළම ආදායම් ලබන 10% තමන්ගේ ආදායමෙන් 2.24%ක් සීනි වෙනුවෙන් වැය කරද්දී ඉහළම ආදායම් ලබන 10% සීනි වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 0.22%ක් පමණයි. සීනි වල මිලෙන් 30%ක් බදු සේ සැලකුවොත් පහළම ආදායම් ලබන 10% සීනි බදු විදිහට තමන්ගේ ආදායමෙන් 0.672%ක් ගෙවනවා. නමුත් ඉහළම ආදායම් ලබන 10% ගෙවන්නේ තමන්ගේ ආදායමෙන් 0.066%ක් පමණයි. පහළම ආදායම් ලබන අයගේ “ආදායම් බදු” අනුපාතිකය ඉහළම ආදායම් ලබන අයගේ අනුපාතිකය මෙන් දහ ගුණයකට වඩා වැඩියි. ඕක තමයි ලංකාවේ සමාජවාදය!
ප්‍රශ්නයක් නැහැ. ජනතාවගේ කැමැත්ත කියල කියමුකෝ. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි වියදමත් කවුරු හරි දැරිය යුතුයිනේ. 

සීනි වලින් ලංකාවේ පාරිභෝගිකයන්ගෙන් බදු අය කරන එක කාලයක් තිස්සේම සිදු වන දෙයක්. සීනි වලින් විතරක් නෙමෙයි. තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ හා අදාළව කතාව ඕකයි. නමුත් අපේ දැන් කතාව සීනි ගැනනේ! 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත “විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්” පනවන විට සීනි ආනයන මත බදු වර්ග හතරක් අය කෙරෙමින් තිබුණා.

වැට් බද්ද – 15%

වරාය සංවර්ධන බද්ද – 7.5%

ජාතිය ගොඩනැගීමේ බද්ද – 2%

තීරු බදු – කිලෝ ග්‍රෑමයකට රුපියල් 12/=

මොන නමින් බදු ගැහුවත් ලංකාවේ සීනි වෙළඳපොළේ ස්වභාවය අනුව බද්ද ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට බව මම කලින් පැහැදිලි කළානේ. ඒ වගේම මේ බදු වල බර වැඩිපුරම දැනෙන්නේ පහළම ආදායම් ස්ථර වලට බවත් පැහැදිලි විය යුතුයි. 

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කිරීමෙන් පසුව ඉහත කී බදු හතර වෙනුවට සීනි වලට තනි බද්දක් යෝජනා කෙරුණා. මේ බද්දේ නියම නම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. අපේ පහසුවට අපි මින් ඉදිරියට මේ බද්ද සීනි බද්ද ලෙස හඳුන්වමු. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබුවේ සීනි වලට පමණක් නෙමෙයි. මම මෙහිදී සීනි බද්ද ලෙස හඳුන්වන්නේ සීනි මත පනවනු ලැබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද.

ඔය සීනි බද්ද දැම්මට පස්සේ පැවති ආණ්ඩු විසින් වරින් වර බද්ද සංශෝධනය කර තිබෙනවා. බොහෝ විට බද්ද සංශෝධනය කර තිබෙන්නේ ජාත්‍යන්තර සීනි මිල ගණන් වෙනස් වෙද්දී දේශීය සීනි මිල ස්ථාවරව තබා ගත හැකි ආකාරයකටයි. ඒ කියන්නේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වෙන කොට බද්ද වැඩි කරනවා. ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට බද්ද අඩු කරනවා.

මේ විදිහට බදු වෙනස් කරද්දී බොහෝ විට, ආණ්ඩු භේදයක් නැතිව, කියන බොරු කිහිපයක් තිබෙනවා. එකක් පාරිභෝගිකයන්ට සෙත සැලසීම. පට්ට පල් බොරු!

ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට සීනි බද්ද අඩු කරන එක හරියට ගං වතුර එද්දී ගැට ගහල ඉන්න හරකෙක්ව ලිහනවා වගේ වැඩක්. ඔය වැඩෙන් හරකාගේ ජීවිතේ බේරෙනවා තමයි. හැබැයි ඔය විදිහට ගං වතුරට යට වෙලා මැරෙන්න නොඇර හරකගේ කඹේ කපන්නේ ඇයි? හරකට තියෙන ආදරේකටද?

කඹේ කැපුවට පස්සේ හරකා පණ එපා කියලා දුවලා කොහොම හරි බේරෙනවා. හැබැයි ගංවතුර බැස්සට පස්සේ ඌට තණකොළ ටිකක් උලා කාලා නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. ආපහු අල්ලගෙන ඇවිත් ගහේ බඳිනවා. මොකටද කියල කියන්න ඕනෑ නැහැනේ.

සීනි බද්ද අඩු කරලා පාරිභෝගිකයන්ට සෙත සලසන එකත් ඔය වගේම වැඩක්. ඇයි හත් දෙයියනේ පාරිභෝගිකයන්ට සෙත සලසන්න අවශ්‍යනම් ඔය බද්ද අය නොකරම හිටියහම ඉවරයිනේ! 

අපි කියමු සීනි මිල ස්ථාවරව තිබෙන එක පාරිභෝගිකයාට වාසියක් කියලා. එකම අරමුණ ඕකනම් රජයකට “බදු-උදාසීන (tax-neutral)” මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිල අඩු වෙද්දී බද්දක් අය කළත් මිල ඉහළ යද්දී සහනාධාරයක් විදිහට ඒ අය කරගත් බදු මුදල් ආපසු ගෙවනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මෙතැන තිබෙන අරමුණ රජයේ නඩත්තුවට ආදායම් උපයා ගැනීම කියන එක ආයේ හංගන්න දෙයක් නැහැ.

සීනි මිල ස්ථාවරව තියා ගැනීමේ වාසියත් ඇත්තටම වක්‍ර ලෙස රජයටමයි. මොකද සීනි වගේ පාරිභෝගික භාණ්ඩ වල මිල වැඩි වෙද්දී උද්ධමනය ඉහළ ගොස් ඇති බව පේන්න ගන්නවා. විශේෂයෙන්ම රටේ මුදල් සැපයුම විශාල ලෙස වැඩි වී තිබෙන මේ වගේ කාලයක. මොන විදියෙන් හරි සීනි මිල ස්ථාවරව තබා නොගත්තොත් උද්ධමනය තුළ එය නිරූපනය වෙනවා. එවිට උද්ධමනයට අනුරූපව රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. රජයට විශාල පාඩුවක් වෙනවා. සීනි මිල ස්ථාවරව තබා ගැනීමෙන් උද්ධමනය කෘතීම ලෙස පාලනය කළ හැකියි. පණිවිඩය ලැබෙන්නට පෙර පණිවිඩකරු නැවැත්වීමේ උපාය මාර්ගය!

ලංකාවේ වාර්ෂික සීනි ආනයනය කිලෝග්‍රෑම් මිලියන 600ක් පමණ. මෑත වසර වලදී සීනි බද්ද තිබුණේ රුපියල් 33-35 මට්ටමේ. ඒ කියන්නේ මෑත වසර වලදී සීනි බද්දෙන් රජය වසරකට රුපියල් බිලියන 20ක් පමණ උපයා තිබෙනවා. 

ඔය විදිහට සීනි වලට බදු ගහන්න හේතුවක් විදිහට ඉදිරිපත් කරන තවත් කාරණාවක් වන්නේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමයි. රටවල් වලට ඔය විදිහේ ජාතික අභිලාශ තිබීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම ජාතික අභිලාශ වෙනුවෙන් පිරිවැයක් දරන්නත් වෙනවා. හැබැයි ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතුව කියා කියනවනේ. මේ ජාතික අභිලාශය වෙනුවෙන් කොයි තරම් පාඩුවක් දරන්න වෙනවද?

දේශීය සීනි නිෂ්පාදකයා කිවුවට ලංකාවේ ඉන්න එකම දේශීය සීනි නිෂ්පාදකයාත් ලංකාවේ රජයම තමයි. එතකොට මේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම කියා කියන්නේත් “අපි වෙනුවෙන් අපි” වැඩක්. 

ලංකාවේ සීනි නිෂ්පාදනය මුළුමනින්ම වගේ කරන සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා තිබෙන්නේ රජයට අයිති ලංකා ෂුගර් පෞද්ගලික සමාගම යටතේ. ඒ වගේම දැනට ක්‍රියාත්මක නැති වුවත්, වැටුප් ලබන අධ්‍යක්ෂ්‍ය වරුන් සිටින කන්තලේ සීනි කම්හල වගේම හිඟුරාන සීනි කම්හලත් තිබෙන්නේ රජයේ පාලනය යටතේ. තව සීනි පර්යේෂණ ආයතනයකුත් තියෙනවා. ටික කලකට පෙර වෙනම සීනි ඇමති කෙනෙකුත් හිටියා. දැන් වෙනම අමාත්‍යංශයක් නැතත් එම අමාත්‍යංශය යටතේ වූ ආයතන වල වියදම නැති වී නැහැ. 

පසුගිය 2019 වසර තුළ ලංකා ෂුගර් පෞද්ගලික සමාගම විසින් සීනි කිලෝග්‍රෑම් මිලියන 41.2ක් රුපියල් මිලියන 5,458කට අලෙවි කර තිබෙනවා. ඒ අනුව දේශීය සීනි කිලෝවක් විකුණා තිබෙන්නේ රුපියල් 126.98 බැගින්. එම වසරේදී සීනි කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 104.09ක් පමණයි. සමහර විට තවත් එක් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වන සතොස විසින් සීනි වැඩි මිලට මිලදී ගෙන අඩු මිලට විකිණුවාද කියා මා දන්නේ නැහැ.

ඔය විදිහට සීනි කිලෝවක් රුපියල් 127කට පමණ විකිණීමෙන් පසුවත් 2019 වසර තුළ ලංකා ෂුගර් විසින් ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 1,308ක්. ඒ කියන්නේ සීනි කිලෝවකට රුපියල් 31.77ක්. ඒ අනුව, ලංකා ෂුගර් පෞද්ගලික සමාගමට පාඩු නොලබන්නටනම් සීනි කිලෝවක් රුපියල් 158.75 බැගින්වත් විකුණන්නට හැකි විය යුතුයි. 2019 වසරේදී ආනයනික සීනි කිලෝවක මිල නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ රුපියල් 64.54ක් පමණයි. මේ අනුව ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සෘජුව හා වක්‍රව ගෙවිය යුතු මිල රුපියල් 94.21ක්. 

ලංකා ෂුගර් පෞද්ගලික සමාගම හැම වසරකම පාඩු ලබන්නේ නැහැ. ලාබ ලබන වසරවල්ද තිබෙනවා. හැබැයි පසුගිය වසර පහේ ලාබ අලාබ එකතුව ගත්තත් එකතුව රුපියල් මිලියන 808ක්. ඒ නිසා ඉහත ඇස්තමේන්තුව තරමක් වැඩි ඇස්තමේන්තුවක් විය හැකි වුවත් ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සැලකිය යුතු මිලක් ගෙවිය යුතුයි කියන එක බොරුවක් නෙමෙයි. සීනි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන නඩත්තු කිරීමේ පිරිවැයද මේ මිලට එකතු කළ යුතුයි. සීනි ඇමති කෙනෙක් සිටිද්දී එම අමාත්‍යංශයේ වාර්ෂික වියදම් රුපියල් බිලියන 1.5කට ආසන්න මට්ටමක තිබුණා.

ලංකා ෂුගර් පාඩු, සීනි ඇමැතිලාගේ වියදම් ආදී සියල්ල එකතු කළත් ඕනෑනම් වැඩිම වුනොත් බිලියන දෙක තුනක් වෙයි. ඒ කියන්නේ සීනි බද්ද විදිහට අය කරන රුපියල් බිලියන 20ක පමණ මුදලින් ජාතික අභිලාශ වෙනුවෙන් යම් හෙයකින් මුදලක් වැය කෙරෙනවානම් එසේ වැය කෙරෙන්නේ බදු මුදලෙන් ඉතාම සුළු කොටසක් පමණයි. ඉතිරි කොටස ක්‍රියා කරන්නේ රටේ දුප්පතුන්ට වැඩි බරක් වැටෙන ආදායම් බද්දක් විදිහටයි. ඒ මුදලින් නඩත්තු වෙන්නේ කවුද?

– ඉකොනොමැට්ටා


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *